5. 5. 2. 5.
5. පඨම අක්ඛන්තාදීනව සූත්‍රය
සැවැත්නුවර නිදාන යි.
15. “මහණෙනි, නොඉවසීමෙහි මේ දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්:
බොහෝ දෙනාට අප්‍රියවූ, අමනාපවූවෙක් වේ. වෛර බහුලකොට ඇත්තේද වේ. ඉතා මුළාවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැති, දුකට පිහිටවූ, නපුරු සේ පතිත වන්නාවූ නරකයෙහි උපදියි.
“මහණෙනි, නොඉවසීමෙහි මේ දෝෂ පසක් වෙත්.
“මහණෙනි, ඉවසීමෙහි මේ අනුසස් පසක් වෙත්. කවර පසක්ද යත්:
බොහෝ දෙනාට ප්‍රියවූවෙක්, මන වඩන්නෙක් වේ, වෛර බහුලකොට ඇත්තෙක් නොවේ. වරද බහුලකොට ඇත්තෙක් නොවේ. මුළා නොවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම් දිව්‍ය ලෝකයෙහි උපදියි.
“මහණෙනි, ඉවසීමෙහි මේ අනුසස් පසක් වෙත්.
5. 5. 2. 6.
6. දුතිය අක්ඛන්තාදීනව සූත්‍රය
සැවැත්නුවර නිදාන යි.
16. “මහණෙනි, නොඉවසීමෙහි මේ දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්:
බොහෝ දෙනාට අප්‍රියවූවෙක්, අමනාපවූවෙක් වේ. රෞද්‍ර වූවෙක්ද වේ. විපිලිසර ඇත්තෙක්ද වේ. ඉතා මුළාවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැති, දුකට පිහිටවූ, නපුරු සේ පතිත වන්නාවූ නරකයෙහි උපදියි.
“මහණෙනි, නොඉවසීමෙහි මේ දෝෂ පසක් වෙත්.
“මහණෙනි, ඉවසීමෙහි මේ අනුසස් පසක් වෙත්. කවර පසක්ද යත්:
බොහෝ දෙනාට ප්‍රියවූවෙක්, මන වඩන්නෙක් වේ, රෞද්‍ර නොවූවෙක්ද වේ. විපිළිසර නැත්තෙක්ද වේ. මුළා නොවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම් දිව්‍ය ලෝකයෙහි උපදියි.
“මහණෙනි, ඉවසීමෙහි මේ අනුසස් පසක් වෙත්.
5. 5. 2. 7.
7. පඨම අපාසාදික සූත්‍රය
සැවැත්නුවර නිදාන යි.
17. “මහණෙනි, ප්‍රසාද නොඑලවීමෙහි මේ දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්:
තෙමේද තමාට දොස් කියයි. දැන නුවණැත්තෝ නින්‍දා කරත්. ලාමකවූ කීර්ති ශබ්දයක් පැන නගියි. ඉතා මුළාවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැති, දුකට පිහිටවූ, නපුරුසේ පතිත වන්නාවූ නරකයෙහි උපදියි.
“මහණෙනි, ප්‍රසාද නොඑලවීමෙහි මේ දෝෂ පසක් වෙත්.
“මහණෙනි, ප්‍රසාද එලවීමෙහි මේ අනුසස් පසක් වෙත්. කවර පසක්ද යත්:
තෙමේද තමාට දොස් නොකියයි. දැන නුවණැත්තෝ ප්‍රසංශා කරත්. යහපත්වූ ගුණ ඝෝෂාවක් පැන නගියි. මුළා නොවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම් දිව්‍ය ලෝකයෙහි උපදියි.
“මහණෙනි, ප්‍රසාද එලවීමෙහි මේ අනුසස් පසක් වෙත්.
5. 5. 2. 8.
8. දුතිය අපාසාදික සූත්‍රය
සැවැත්නුවර නිදාන යි.
18. “මහණෙනි, ප්‍රසාද නොඑලවීමෙහි මේ දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්:
ප්‍රසන්න නුවූවාහු නොපහදිත්. ප්‍රසන්නවූද, ඇතැමුන්ගේ අන් පරිදි බව වේ. ශාස්තෲන් වහන්සේගේ අනුශාසනය නොකරණ ලද්දේ වේ. පශ්චිම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණේ. මොහුගේ සිත නොපහදියි.
“මහණෙනි, ප්‍රසාද නොඑලවීමෙහි මේ දෝෂ පසක් වෙත්.
“මහණෙනි, ප්‍රසාද එලවීමෙහි මේ අනුසස් පසක් වෙත්. කවර පසක්ද යත්:
ප්‍රසන්න වූවාහු පහදිත්. ප්‍රසන්නවූවන්ගේද වැඩිවීම වේ. ශාස්තෲන් වහන්සේගේ අනුශාසනය කරණ ලද්දේ වේ. පශ්චිම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණේ. මොහුගේ සිත පහදියි.
“මහණෙනි, ප්‍රසාද එලවීමෙහි මේ අනුසස් පසක් වෙත්.