209.
9. ගීතස්සර සූත්‍රය
[සැවැත් නිදානයි]
9. “මහණෙනි, දික්වූ ගීතිකා ස්වරයෙන් බණ කියන්නහුගේ මේ දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්?
තෙමේද ඒ ස්වරයෙහි ඇලෙයි. අන්‍යයෝද ඒ ස්වරයෙහි ඇලෙත්. ගෘහපතීහුද, ‘යම් පරිද්දකින්ම අපි ගායනා කරමුද, එපරිද්දෙන්ම මේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ ගායනා කෙරෙත්ය’ යි හෙළා දකිත්. හඬනගා කීමද කැමතිවන්නහුගේ සමාධිය භංග වේ. පශ්චිම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණේ යන පසයි.
මහණෙනි, දික්වූ ගීතිකා ස්වරයෙන් බණ කියන්නහුගේ මේ දෝෂ පසක් වෙත්.
210.
10. නිද්දොක්කමන සූත්‍රය
[සැවැත් නිදානයි]
10. “මහණෙනි, මුළාවූ සිහි ඇතිව, මනා දැනීම නැතිව නින්දට බැසගන්නහුගේ මේ දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්?
දුකසේ නිදයි. දුකසේ පිබිදෙයි. ලාමකවූ සිහින දකියි. දෙවියෝ නොරකිත්. අශූචි මෝචනය වේ, යන පසයි.
මහණෙනි, මුළාවූ සිහි ඇතිව, මනා දැනීම නැතිව නින්දට බැසගන්නහුගේ මේ දෝෂ පසක් වෙත්.
“මහණෙනි, එළඹ සිටි සිහි ඇතිව, මනා දැනුම් ඇතිව නින්දට බැසගන්නහුගේ මේ අනුසස් පසක් වෙත්. කවර පසක්ද යත්?
සුවසේ නිදයි. සුවසේ පිබිදෙයි. ලාමකවූ සිහින නොදකියි. දෙවියෝ රකිත්. අශූචි මෝචනය නොවේ, යන පසයි.
මහණෙනි, එළඹ සිටි සිහි ඇතිව, මනා දැනුම් ඇතිව නින්දට බැසගන්නහුගේ මේ අනුසස් පසක් වෙත්.
විසිඑක් වැනි කිම්බිල වර්‍ගය නිමි.
එහි උද්දානය:
කිම්බිල ද ධම්මසවණ ද ආජානීය ද බල ද ඛිල ද විනිබන්ධ ද යාගු ද දන්තකට්ඨ ද ගීත ද මුට්ඨස්සති යයි (මේ වගෙහි) සූත්‍ර දසයකි.
2. අක්කොසක වර්‍ගය
5. 5. 2. 1.
1. අක්කොසක සූත්‍රය
සැවැත්නුවර නිදාන යි.
11. “මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් තෙම බ්‍රහ්මචාරීන්ට නින්‍දා පරිභව කරන්නේ, ආර්‍ය්‍යයන්ට දොස් කියන්නේ වේද, ඔහුගේ දෝෂ පසක් කැමතිවිය යුතුය. කවර පසක්ද යත්:
සිඳින ලද ලෝකෝත්තර මාර්‍ග ඇති පාරාජිකාවට පැමිණියෙක් හෝ වේ. එක්තරා ඉතා කිළුටු ඇවතකට හෝ පැමිණෙයි. දැඩිවූ බලවත් ව්‍යාධියක් හෝ ස්පර්‍ශ කරයි. ඉතා මුළාවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැති, දුකට පිහිටවූ, නපුරු සේ පතිත වන්නාවූ නරකයෙහි උපදියි.
“මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් තෙම බ්‍රහ්මචාරීන්ට නින්‍දා පරිභව කරන්නේ, ආර්‍ය්‍යයන්ට දොස් කියන්නේ වේද, ඔහුගේ දෝෂ පසක් කැමතිවිය යුතුය.
5. 5. 2. 2.
2. භණ්ඩනකාරක සූත්‍රය
සැවැත්නුවර නිදාන යි.
12. “මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් තෙම දබර කරන්නෙක්, කළහ කරන්නෙක්, විරුද්‍ධ වාද කරන්නෙක්. විරුද්‍ධ කථාබස් කරන්නෙක්, සංඝයා කෙරෙහි අධිකරණ කරන්නෙක් වේද, ඔහුට දෝෂ පසක් කැමතිවිය යුතුයි. කවර පසක්ද යත්:
නොලබන ලද්ද නොලබයි. ලබන ලද්ද පිරිහෙළයි. ලාමකවූ කීර්ති ශබ්දයක් පැන නගියි. ඉතා මුළාවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැති, දුකට පිහිටවූ, නපුරුසේ පතිත වන්නාවූ නරකයෙහි උපදියි.
“මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් තෙම දබර කරන්නෙක්, කළහ කරන්නෙක්, විරුද්‍ධ වාද කරන්නෙක්. විරුද්‍ධ කථාබස් කරන්නෙක්, සංඝයා කෙරෙහි අධිකරණ කරන්නෙක් වේද, ඔහුට දෝෂ පසක් කැමතිවිය යුතුයි.
5. 5. 2. 3.
3. සීලවිපත්‍යාදීනව සූත්‍රය
සැවැත්නුවර නිදාන යි.
13. “මහණෙනි, දුශ්ශීලයාගේ ශීල විපත්තියෙහි මේ දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්:
මහණෙනි, මේ ශාසනයෙහි සීල විපත්තියට පැමිණියාවූ දුශ්ශීල තෙමේ ප්‍රමාදය හේතු කොට ගෙණ මහත්වූ සම්පත් පිරිහීමට පැමිණේ. මහණෙනි, දුශ්ශීලයාගේ සීල විපත්තියෙහි මේ පළමුවන දෝෂය වේ.
මහණෙනි, නැවත අනිකක්ද කියමි. ශීල විපත්තියට පැමිණියාවූ දුශ්ශීලයාගේ ලාමකවූ කීර්ති ශබ්දයක් පැන නගියි. මහණෙනි, දුශ්ශීලයාගේ ශීල විපත්තියෙහි මේ දෙවන දෝෂය වේ.