202.
2. ධම්ම සවණානිසංස සූත්‍රය
[සැවැත් නිදානයි]
2. “මහණෙනි, ධර්ම ශ්‍රවණයෙහි මේ ආනිශංස පසක් වෙත්. කවර පසක්ද යත්?
නොඅසන ලද්ද අසයි, අසන ලද්ද පිරිසිදු කෙරෙයි, සැකය දුරු කෙරෙයි, දෘෂ්ටිය ඎජු කෙරෙයි, මොහුගේ සිත පහදියි. මහණෙනි, ධර්ම ශ්‍රවණයෙහි මේ ආනිශංස පසක් වෙත්.
203.
3. අස්සාජානීය සූත්‍රය
[සැවැත් නිදානයි]
3. “මහණෙනි, අඞ්ග පසකින් යුක්තවූ රජුගේ සොඳුරුවූ ආජානීය අශ්වතෙම රජුන්ට සුදුසුවේ. රජුන්ගේ පරිභෝගයට සුදුසු වේ. රජහුගේ අඞ්ගයකැයිම සංඛ්‍යාවට පැමිණේ. කවර පසකින්ද යත්?
ඍාජු බැවින්ද, ජවයෙන්ද, මෘදු බැවින්ද, ඉවසීමෙන්ද, කීකරු බැවින්ද යන පසිනි. මහණෙනි, අඞ්ග පසකින් යුක්තවූ රජුගේ සොඳුරුවූ ආජානීය අශ්වතෙම රජුන්ට සුදුසුවේ. රජුන්ගේ පරිභෝගයට සුදුසු වේ. රජහුගේ අඞ්ගයකැයිම සංඛ්‍යාවට පැමිණේ.
“මහණෙනි, මෙපරිද්දෙන්ම ධර්ම පසකින් යුක්තවූ භික්‍ෂුතෙම පූජාවට සුදුසු වේ. දුර සිට ගෙනෙන ලද සත්කාරයට සුදුසු වේ. දක්‍ෂිණාවට සුදුසු වේ. ඇඳිළි කිරීමට සුදුසු වේ. ලෝකයාගේ නිරුත්තරවූ පුණ්‍යක්‍ෂෙත්‍රය වේ. කවර පසකින්ද යත්?
ඎජු භාවයෙන්ද, ඥාන ජවයෙන්ද, මෘදු භාවයෙන්ද, ඉවසීමෙන්ද, පවිත්‍ර භාවයෙන්ද යන පසිනි. “මහණෙනි, මෙපරිද්දෙන්ම ධර්ම පසකින් යුක්තවූ භික්‍ෂුතෙම පූජාවට සුදුසු වේ. දුර සිට ගෙනෙන ලද සත්කාරයට සුදුසු වේ. දක්‍ෂිණාවට සුදුසු වේ. ඇඳිළි කිරීමට සුදුසු වේ. ලෝකයාගේ නිරුත්තරවූ පුණ්‍යක්‍ෂෙත්‍රය වේ.
204.
4. පඤ්චබල සූත්‍රය
[සැවැත් නිදානයි]
4. “මහණෙනි, මේ බල පසක් වෙත්. කවර පසක්ද යත්?
ශ්‍රද්‍ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, වීර්‍ය්‍ය බලය, ප්‍රඥා බලය යන පසයි. මහණෙනි, මොහු වනාහි බල පස වෙත්ය” යි වදාළ සේක.
205.
5. චෙතොඛිල සූත්‍රය
[සැවැත් නිදානයි]
5. “මහණෙනි, මේ සිතේ තද බැව් පසක් වෙත්. කවර පසක්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ශාස්තෲන් කෙරෙහි සැක කරයි. සොයමින් වෙහෙසෙයි. අදහසට නොපැමිණෙයි. නොපහදියි. යම් ඒ භික්‍ෂුවක් තෙම ශාස්තෲන් කෙරෙහි සැක කරයි. සොයමින් වෙහෙසෙයි. අදහසට නොපැමිණෙයි. නොපහදියි. ඔහුගේ සිත කෙළෙස් තැවීම පිණිස, නැවත නැවත යෙදීම පිණිස, සතතයෙන් කිරීම පිණිස, වීර්‍ය්‍ය කිරීම පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත නොනැමේද, මේ පළමුවන චෙතොඛීලය හෙවත් සිතේ තද බව වේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂු තෙම ධර්‍මයෙහි සැක කරයි. සොයමින් වෙහෙසෙයි. අදහසට නොපැමිණෙයි. නොපහදියි. සංඝයා කෙරෙහි සැක කරයි. සොයමින් වෙහෙසෙයි. අදහසට නොපැමිණෙයි. නොපහදියි. ශික්‍ෂාව කෙරෙහි සැක කරයි. සොයමින් වෙහෙසෙයි. අදහසට නොපැමිණෙයි. නොපහදියි. සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ, නොසතුටු සිත් ඇත්තේ, ගැටුනාවූ සිත් ඇත්තේ, හටගත් තද බැව් ඇත්තේ වේ. මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් තෙම සබ්‍රම්සරුන් කෙරෙහි කිපුනේ, නොසතුටු සිත් ඇත්තේ, ගැටුනු සිත් ඇත්තේ, හටගත් තද බැව් ඇත්තේ වේද. ඔහුගේ සිත කෙළෙස් තැවීම පිණිස, නැවත නැවත යෙදීම පිණිස, සතතයෙන් කිරීම පිණිස, වීර්‍ය්‍ය කිරීම පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙළෙස් තැවීම පිණිස, නැවත නැවත යෙදීම පිණිස, සතතයෙන් කිරීම පිණිස, වීර්‍ය්‍යය කිරීම පිණිස නොනැමේද, මේ පස්වන චෙතොඛීලය හෙවත් සිතේ තද බව වේ.
මහණෙනි, මේ සිතේ තද බැව් පසක් වෙත්.