5. 4. 5. 7.
7. වස්සන්තරාය සූත්‍රය
[සැවැත් නුවර දී ය]
197. “මහණෙනි, නිමිති කියන්නාහු යමක් නොදනිද්ද, නිමිති කියන්නවුන්ගේ ඇස යම් තැනෙක්හි කාර්‍ය්‍යක්‍ෂම නොවේද, එබඳුවූ මේ වර්‍ෂාවට අන්තරායයෝ පසක් වෙත්. කවර පසක්ද යත්?
මහණෙනි, මතු ආකාශයෙහි තේජෝ ධාතුව කිපෙයි. එයින් උපන්නාවූ මේඝයෝ පහව යෙත්. මහණෙනි, නිමිති කියන්නාහු යමක් නොදනිද්ද, නිමිති කියන්නවුන්ගේ ඇස යම් තැනෙක්හි කාර්‍ය්‍යක්‍ෂම නොවේද, මේ පළමුවන වර්‍ෂාවගේ අන්තරායය වේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මතු ආකාශයෙහි වායෝ ධාතුව කිපෙයි. එයින් උපන්නාවූ මේඝයෝ පහව යෙත්. මහණෙනි, නිමිති කියන්නාහු යමක් නොදනිද්ද, නිමිති කියන්නවුන්ගේ ඇස යම් තැනෙක්හි කාර්‍ය්‍යක්‍ෂම නොවේද, ඒ මේ දෙවන වර්‍ෂාවගේ අන්තරායය වේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. රාහු අසුරේන්‍ද්‍ර තෙමේ අත්ලෙන් ජලය පිළිගෙණ මහමුහුදෙහි හැර දමයි. මහණෙනි, නිමිති කියන්නාහු යමක් නොදනිද්ද, නිමිති කියන්නවුන්ගේ ඇස යම් තැනෙක්හි කාර්‍ය්‍යක්‍ෂම නොවේද, ඒ මේ තුන්වන වර්‍ෂාවගේ අන්තරායය වේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. වස්සවළාහක නම් දෙවියෝ ප්‍රමාදවූවාහු වෙත්. මහණෙනි, නිමිති කියන්නාහු යමක් නොදනිද්ද, නිමිති කියන්නවුන්ගේ ඇස යම් තැනෙක්හි කාර්‍ය්‍යක්‍ෂම නොවේද, ඒ මේ සතරවන වර්‍ෂාවගේ අන්තරායය වේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මනුෂ්‍යයෝ අධාර්මිකයෝ වෙද්ද, මහණෙනි, නිමිති කියන්නාහු යමක් නොදනිද්ද, නිමිති කියන්නවුන්ගේ ඇස යම් තැනෙක්හි කාර්‍ය්‍යක්‍ෂම නොවේද, ඒ මේ පසවන වර්‍ෂාවගේ අන්තරාය වේ.
“මහණෙනි, මේ වර්‍ෂාවට අන්තරායයෝ පසක් වෙත්, යමක් නිමිති කියන්නාහු නොදනිද්ද, නිමිති කියන්නවුන්ගේ ඇස යම් තැනෙක්හි කාර්‍ය්‍යක්‍ෂම නොවේද.
5. 4. 5. 8.
8. සුභාසිතවාචා සූත්‍රය
[සැවැත් නුවර දී ය]
198. “මහණෙනි, අඞ්ග පසකින් යුක්තවූ වචනය සුභාසිත නම් වේ. දුර්භාසිත නම් නොවේ. නිරවද්‍යද, නුවණැත්තන් විසින් දොස් නොකිය යුත්තීද වේ. කවර පසකින්ද යත්?
සුදුසු කාලයෙහි කියන ලද්දීවේද, සත්‍යවූවක්ම කියන ලද්දී වේද, සිළුටුවූවක් කියන ලද්දී වේද, වැඩ සහිත වූවක් කියන ලද්දී වේද, මෛත්‍රී සිතින් කියන ලද්දී වේද යන පසිනි.
“මහණෙනි, ඉමෙහි අඞ්ග පසකින් යුක්තවූ වචනය සුභාසිත නම් වේ. දුර්භාසිත නම් නොවේ. නිරවද්‍යද, නුවණැත්තන් විසින් දොස් නොකිය යුත්තීද වේ.
5. 4. 5. 9.
9. කුලුපසංකමන සූත්‍රය
[සැවැත් නුවර දී ය]
199. “මහණෙනි, යම් කලෙක්හි සිල්වත්වූ ප්‍රව්‍රජිතයෝ කුලයට එළඹෙත්ද, එහි මිනිස්සු කරුණු පසකින් බොහෝ පින් රැස් කරත්. කවර පසකින්ද යත්?
මහණෙනි, යම් කලෙක්හි කුලයට එළඹෙන්නාවූ සිල්වත්වූ ප්‍රව්‍රජිතයන් දැක මිනිස්සු සිත් පහදවත්ද, මහණෙනි, එකල්හි ඒ කුලය ස්වර්‍ග සැප පිණිස පවත්නාවූ ප්‍රතිපදාවට පිළිපන්නේ වෙයි.
“මහණෙනි, යම් කලෙක්හි කුලයට එළඹෙන්නාවූ සිල්වත්වූ ප්‍රව්‍රජිතයන් දැක මිනිස්සු හුනස්නෙන් නැගිටිද්ද, මනාකොට වඳිද්ද, ආසනය දෙද්ද, මහණෙනි, එකල්හි ඒ කුලය උසස් කුල ඇතිවීම පිණිස පවත්නාවූ ප්‍රතිපදාවට පිළිපන්නේ වේ.
“මහණෙනි, යම් කලෙක්හි කුලයට එළඹෙන්නාවූ සිල්වත්වූ ප්‍රව්‍රජිතයන් දැක මසුරුමල දුරුකෙරෙද්ද, මහණෙනි, එකල්හි ඒ කුලය මහත් පිරිවර ඇතිබැව් පිණිස පවත්නාවූ ප්‍රතිපදාවට පිළිපන්නේ වේ.
“මහණෙනි, යම් කලෙක්හි කුලයට එළඹෙන්නාවූ සිල්වත්වූ ප්‍රව්‍රජිතයන් දැක මිනිස්සු ශක්තිවූ පරිද්දෙන් බලයවූ පරිද්දෙන්, දානසංවිභාගය කෙරෙද්ද, මහණෙනි, එකල්හි ඒ කුලය මහත් සම්පත් ඇතිබැව් පිණිස පවත්නාවූ ප්‍රතිපදාවට පිළිපන්නේ වේ.
“මහණෙනි, යම් කලෙක්හි කුලයට එළඹෙන්නාවූ සිල්වත්වූ ප්‍රව්‍රජිතයන් දැක මිනිස්සු කරුණු විචාරද්ද, ප්‍රශ්න කෙරෙද්ද, ධර්‍මය අසද්ද, මහණෙනි, එකල්හි ඒ කුලය මහත් පුඥාව ඇතිබැව් පිණිස පවත්නාවූ ප්‍රතිපදාවට පිළිපන්නේ වේ.
“මහණෙනි, යම් කලෙක්හි සිල්වත්වූ ප්‍රව්‍රජිතයෝ කුලයට එළඹෙත්ද, එහි මිනිස්සු ඉමෙහි කරුණු පසකින් බොහෝ පින් රැස් කරත්.