5. 4. 5. 8.
8. සුභාසිතවාචා සූත්රය
[සැවැත් නුවර දී ය]
198. “මහණෙනි, අඞ්ග පසකින් යුක්තවූ වචනය සුභාසිත නම් වේ. දුර්භාසිත නම් නොවේ. නිරවද්යද, නුවණැත්තන් විසින් දොස් නොකිය යුත්තීද වේ. කවර පසකින්ද යත්?
සුදුසු කාලයෙහි කියන ලද්දීවේද, සත්යවූවක්ම කියන ලද්දී වේද, සිළුටුවූවක් කියන ලද්දී වේද, වැඩ සහිත වූවක් කියන ලද්දී වේද, මෛත්රී සිතින් කියන ලද්දී වේද යන පසිනි.
“මහණෙනි, ඉමෙහි අඞ්ග පසකින් යුක්තවූ වචනය සුභාසිත නම් වේ. දුර්භාසිත නම් නොවේ. නිරවද්යද, නුවණැත්තන් විසින් දොස් නොකිය යුත්තීද වේ.
5. 4. 5. 9.
9. කුලුපසංකමන සූත්රය
[සැවැත් නුවර දී ය]
199. “මහණෙනි, යම් කලෙක්හි සිල්වත්වූ ප්රව්රජිතයෝ කුලයට එළඹෙත්ද, එහි මිනිස්සු කරුණු පසකින් බොහෝ පින් රැස් කරත්. කවර පසකින්ද යත්?
මහණෙනි, යම් කලෙක්හි කුලයට එළඹෙන්නාවූ සිල්වත්වූ ප්රව්රජිතයන් දැක මිනිස්සු සිත් පහදවත්ද, මහණෙනි, එකල්හි ඒ කුලය ස්වර්ග සැප පිණිස පවත්නාවූ ප්රතිපදාවට පිළිපන්නේ වෙයි.
“මහණෙනි, යම් කලෙක්හි කුලයට එළඹෙන්නාවූ සිල්වත්වූ ප්රව්රජිතයන් දැක මිනිස්සු හුනස්නෙන් නැගිටිද්ද, මනාකොට වඳිද්ද, ආසනය දෙද්ද, මහණෙනි, එකල්හි ඒ කුලය උසස් කුල ඇතිවීම පිණිස පවත්නාවූ ප්රතිපදාවට පිළිපන්නේ වේ.
“මහණෙනි, යම් කලෙක්හි කුලයට එළඹෙන්නාවූ සිල්වත්වූ ප්රව්රජිතයන් දැක මසුරුමල දුරුකෙරෙද්ද, මහණෙනි, එකල්හි ඒ කුලය මහත් පිරිවර ඇතිබැව් පිණිස පවත්නාවූ ප්රතිපදාවට පිළිපන්නේ වේ.
“මහණෙනි, යම් කලෙක්හි කුලයට එළඹෙන්නාවූ සිල්වත්වූ ප්රව්රජිතයන් දැක මිනිස්සු ශක්තිවූ පරිද්දෙන් බලයවූ පරිද්දෙන්, දානසංවිභාගය කෙරෙද්ද, මහණෙනි, එකල්හි ඒ කුලය මහත් සම්පත් ඇතිබැව් පිණිස පවත්නාවූ ප්රතිපදාවට පිළිපන්නේ වේ.
“මහණෙනි, යම් කලෙක්හි කුලයට එළඹෙන්නාවූ සිල්වත්වූ ප්රව්රජිතයන් දැක මිනිස්සු කරුණු විචාරද්ද, ප්රශ්න කෙරෙද්ද, ධර්මය අසද්ද, මහණෙනි, එකල්හි ඒ කුලය මහත් පුඥාව ඇතිබැව් පිණිස පවත්නාවූ ප්රතිපදාවට පිළිපන්නේ වේ.
“මහණෙනි, යම් කලෙක්හි සිල්වත්වූ ප්රව්රජිතයෝ කුලයට එළඹෙත්ද, එහි මිනිස්සු ඉමෙහි කරුණු පසකින් බොහෝ පින් රැස් කරත්.
5. 4. 5. 10.
10. නිස්සාරණීයධාතු සූත්රය
[සැවැත් නුවර දී ය]
200. “මහණෙනි, බැහැර කළයුතු මේ ධාතු පසක් වෙත්. කවර පසක්ද යත්?
“මහණෙනි, මේ ශාසනයෙහි කාමයන් මෙනෙහි කරන්නාවූ භික්ෂුහුගේ කාමයන්හි සිත ඇතුල් නොවේද, නොපහදීද, නොපිහිටාද, නොමිදේද. නෛෂ්ක්රම්යය වනාහි සිහිකරන්නාවූ මොහුගේ නෛෂ්ක්රම්යයෙහි සිත ඇතුල් නොවේද, නොපහදීද, නොපිහිටාද, නොමිදේද, ඔහුගේ ඒ සිත මනාව ගමන් කරන ලද්දේ. මනාව වඩනා ලද්දේ. මනාව නැගී සිටියේ, මනාව මිදුනේ, කාමයන්ගෙන් මනාව වෙන්වූයේ වෙයි. කාම හේතුවෙන් දුක්වූ පරිඩාහ ඇති යම් ආශ්රවයෝ උපදිද්ද, හෙතෙම ඔවුන්ගෙන් මිදුනේ වේ. හෙතෙම ඒ වේදනාව නොවිඳුනු ලබයි. මෙය කාමයන්ගේ බැහැර කිරීමයයි කියන ලදී.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. ව්යාපාදය මෙනෙහි කරන්නාවූ භික්ෂුහුගේ ව්යාපාදයෙහි සිත ඇතුල් නොවේද, නොපහදීද, නොපිහිටාද, නොමිදේද, අව්යාපාදය වනාහි මෙනෙහි කරන්නාවූ මොහුගේ අව්යාපාදයෙහි සිත ඇතුල් නොවේද, නොපහදීද, නොපිහිටාද, නොමිදේද, ඔහුගේ ඒ සිත මනාව ගමන් කරන ලද්දේ. මනාව වඩනා ලද්දේ. මනාව නැගී සිටියේ, මනාව මිදුනේ,ව්යාපාදයෙන් මනාව වෙන්වූයේ වේ. ව්යාපාද හේතුවෙන් දුක්වූ පරිඩාහ ඇති යම් ආශ්රවයෝ උපදිද්ද, හෙතෙම ඔවුන්ගෙන් මිදුනේ වේ. හෙතෙම ඒ වේදනාව නොවිඳිනු ලැබේ. මෙය ව්යාපාදයාගේ දුරු කිරීමයයි කියන ලදී.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. විහිංසාව මෙනෙහි කරන්නාවූ භික්ෂුහුගේ විහිංසාවෙහි සිත ඇතුල් නොවේද, නොපහදීද, නොපිහිටාද, නොමිදේද, අවිහිංසාව වනාහි මෙනෙහි කරන්නාවූ මොහුගේ අවිහිංසාවෙහි සිත ඇතුල් නොවේද, නොපහදීද, නොපිහිටාද, නොමිදේද, ඔහුගේ ඒ සිත මනාව ගමන් කරන ලද්දේ. මනාව වඩනා ලද්දේ. මනාව නැගී සිටියේ, මනාව මිදුනේ, විහිංසාවෙන් මනාව වෙන් වූයේ වේ. විහිංසාව හේතුකොට ගෙණ දුක්වූ පරිඩාහ ඇති යම් ආශ්රවයෝ උපදිද්ද, හෙතෙම ඔවුන්ගෙන් මිදුනේ වේ. හෙතෙම ඒ වේදනාව නොවිඳිනු ලැබේ. මෙය විහිංසාවගේ දුරු කිරීමයයි කියන ලදී.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. රූපය මෙනෙහි කරන්නාවූ භික්ෂුහුගේ ව්යාපාදයෙහි සිත නොවදීද, නොපහදීද, නොපිහිටාද, නොමිදේද, අරූපයය වනාහි මෙනෙහි කරන්නාවූ මොහුගේ අරූපයෙහි සිත ඇතුල් නොවේද, නොපහදීද, නොපිහිටාද, නොමිදේද, ඔහුගේ ඒ සිත මනාව ගමන් කරන ලද්දේ. මනාව වඩනා ලද්දේ. මනාව නැගී සිටියේ, මනාව මිදුනේ, රූපයන්ගෙන් මනාව වෙන්වූයේ වෙයි. රූප හේතුවෙන් දුක්වූ පරිඩාහ ඇති යම් ආශ්රවයෝ උපදිද්ද, හෙතෙම ඔවුන්ගෙන් මිදුනේ, හෙතෙම ඒ වේදනාව නොවිඳිනු ලැබේ. මෙය රූපයන්ගේ දුරු කිරීමයයි කියන ලදී.