5. 4. 5. 1.
1. සුනඛධම්ම සූත්‍රය
සැවැත් නුවර නිදානයි
42. “මහණෙනි, මේ පුරාණවූ බ්‍රාහ්මණ ධර්‍ම පසක් මේ කාලයෙහි ශුනඛයන් කෙරෙහි දක්නා ලැබෙත්. බ්‍රාහ්මණයන් කෙරෙහි දක්නා නොලැබෙත්. කවර පසක්ද යත්?
“මහණෙනි, පෙර වනාහි බ්‍රාහ්මණයෝ බැමිණිය වෙතම පැමිණෙත්. නොබැමිණිය වෙත නොපැමිණෙත්. මහණෙනි, මේ කාලයෙහි බ්‍රාහ්මණයෝ බැමිණිය වෙතද පැමිණෙත්. නොබැමිණිය වෙතද පැමිණෙත්. මහණෙනි, මේ කාලයෙහි බල්ලෝ බැල්ලිය වෙතම පැමිණෙත්. බැල්ලියන් නොවූවන් වෙත නොපැමිණෙත්. මහණෙනි, මේ පළමුවන පුරාණවූ බ්‍රාහ්මණ ධර්‍මය තෙම මේ කාලයෙහි ශුනඛයන් කෙරෙහි දක්නා ලැබේ. බ්‍රාහ්මණ්යන් කෙරෙහි නොදක්නා ලැබේ.
“මහණෙනි, පෙර වනාහි බ්‍රාහ්මණයෝ ඔසප්වූම බැමිණිය වෙත පැමිණෙත්. ඔසප් නොවූ බැමිණිය වෙත නොපැමිණෙත්. මහණෙනි. මේ කාලයෙහි ඔසප්වූද බැමිණිය වෙත පැමිණෙත්. ඔසප්නොවූද බැමිණිය වෙත පැමිණෙත්. මහණෙනි, මේ කාලයෙහි බල්ලෝ ඔසප්වූම බැල්ලිය වෙත පැමිණෙත්. ඔසප්නොවූ බැල්ලිය වෙත නොපැමිණෙත්. මහණෙනි, මේ දෙවන පුරාණවූ බ්‍රාහ්මණ ධර්‍මය තෙම මේ කාලයෙහි ශුනඛයන් කෙරෙහි දක්නා ලැබේ. බ්‍රාහ්මණ්යන් කෙරෙහි නොදක්නා ලැබේ.
“මහණෙනි. පෙර වනාහි බ්‍රාහ්මණයෝ බැමිණිය මිලදී නොම ගනිත්. නොවිකුණත්. ස්වකීය පුරුෂයා සමගම සංවාසය සංසර්‍ගය පිණිස පවත්වත්. මහණෙනි. මේ කාලයෙහි බ්‍රාහ්මණයෝ බැමිණිය මිලදී ගැණීමද කෙරෙත්. විකිණීමද කෙරෙත්. ස්වකීය ප්‍රියයා සමගද සංවාසය සංසර්‍ගය පිණිස පරම්පරාව ගැළපිම පිණිස පවත්වත්. මහණෙනි, මේ කාලයෙහි බල්ලෝ බැල්ලිය මිළදී නොම ගනිත්. නොවිකුණත්. ස්වකීය ප්‍රිය වූවෙකු සමගම සංවාසය සංසර්‍ගය පිණිස පවත්වත්. මහණෙනි, මේ තුන්වනවූ පුරාණවූ බ්‍රාහ්මණ ධර්‍මය තෙම මේ කාලයෙහි ශුනඛයන් කෙරෙහි දක්නා ලැබේ. බ්‍රාහ්මණ්යන් කෙරෙහි නොදක්නා ලැබේ.
“මහණෙනි, පෙර වනාහි බ්‍රාහ්මණයෝ ධනයද, ධාන්‍යයද, රිදීද, රත්‍රංද රැස්කොට තැබීම නොකෙරෙත්. මහණෙනි, මේ කාලයෙහි බ්‍රාහ්මණයෝ ධනයද, ධාන්‍යයද, රිදීද, රත්‍රංද රැස්කොට තැබීම කරත්. මහණෙනි, මේ කාලයෙහි බල්ලෝ ධනයද, ධාන්‍යයද, රිදීද, රත්‍රංද රැස්කොට තැබීම නොකරත්. මහණෙනි, මේ සතරවන පුරාණවූ බ්‍රාහ්මණ ධර්‍මය තෙම මේ කාලයෙහි ශුනඛයන් කෙරෙහි දක්නා ලැබේ. බ්‍රාහ්මණ්යන් කෙරෙහි නොදක්නා ලැබේ.
“මහණෙනි, පෙර වනාහි බ්‍රාහ්මණයෝ සවස්හි සවස බත පිණිසද, උදෑසන උදය බත පිණිසද, ආහාරය සොයත්. මහණෙනි, මේ කාලයෙහි බ්‍රාහ්මණයෝ කැමති පමණ බඩ ගන්නා තුරු අනුභවකොට ඉතිරි දෙය හැරගෙන යත්. මහණෙනි, මේ කාලයෙහි බල්ලෝ සවස්හි සවස බත පිණිසද, උදෑසන උදය බත පිණිසද ආහාර සොයත්. මහණෙනි, මේ පස්වන පුරාණවූ බ්‍රාහ්මණ ධර්‍මය තෙම මේ කාලයෙහි ශුනඛයන් කෙරෙහි දක්නා ලැබේ. බ්‍රාහ්මණ්යන් කෙරෙහි නොදක්නා ලැබේ.
“මහණෙනි, මේ පුරාණවූ බ්‍රාහ්මණ ධර්‍ම පසක් මේ කාලයෙහි ශුනඛයන් කෙරෙහි දක්නා ලැබෙත්. බ්‍රාහ්මණයන් කෙරෙහි දක්නා නොලැබෙත්.”
5. 4. 5. 2.
2. වුද්‍ධාපචායන සූත්‍රය
සැවැත් නුවර නිදානයි
43. “ඉක්බිති දොාණ නම් බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටුවියයුතුවූ, සිහිකටයුතුවූ කථාව කොට නිමවා එකත්පස්ව හුන්නාවූම දොාණ නම් බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේය.
“භවත් ගෞතමයන් වහන්ස, ශ්‍රමණ භවත් ගෞතමතෙම ජරාවෙන් ජීර්‍ණවූ වයසින් වැඩිසිටි, ජාතියෙන් මහළුවූ කල්ගියාවූ, පශ්චිම වයසට පැමිණියාවූ බ්‍රාහ්මණයන්ට නොවඳීයයිද. දැක හුනස්නෙන් නොනැගිටීයයිද, ආසනයෙන් හෝ නොපවරායයිද, යන මෙය මා විසින් අසන ලදී. භවත් ගෞතමයන් වහන්ස, ඒ මේ කාරණය එසේමය. භවත් ගෞතම තෙමේ ජරාවෙන් ජීර්‍ණවූ වයසින් වැඩිසිටි, ජාතියෙන් මහළුවූ කල්ගියාවූ, පශ්චිම වයසට පැමිණියාවූ බ්‍රාහ්මණයන්ට නොවඳීයයිද. දැක හුනස්නෙන් නොනැගිටීයයිද, ආසනයෙන් හෝ නොපවරායයිද, භවත් ගෞතමයන් වහන්ස, ඒ මේ කාරණය නුසුදුසුමය” යි කීයේය.
[භාග්‍යවතුන් වහන්සේ:]
“දොාණය, නුඹත් බ්‍රාහ්මණයෙකැයි ප්‍රතිඥා කරන්නෙහිදැ” යි ඇසූ සේක.
“භවත් ගෞතමයන් වහන්ස, ඒ යමෙකුට වනාහි මනාකොට කියනු ලබන්නෙක් කියන්නේද, බ්‍රාහ්මණතෙමේ, මව් පසින්ද, පිය පසින්ද යන දෙපසින් මනාව උපන්නේ පිරිසිදු පිළිසිඳ ගැනීම් ඇත්තේය. සත්වන පියමහ යුගය දක්වා බැහැර නොදමන ලද්දේය. ජාතිවාදයෙන් නින්‍දා නොකරණ ලද්දේය. වේදය හදාරන්නේය. මන්ත්‍ර දරන්නේය. නිඝණ්ඩු කෙටුහ සහිතවූ අක්‍ෂර ප්‍රභෙද සහිතවූ ඉතිහාසය පස්වෙනිකොට ඇත්තාවූ ත්‍රිවේදයන්ගේ පරතෙරට ගියේය. ව්‍යාකරණ දන්නේය. ලෝකායත මහා පුරුෂ ලක්‍ෂණයන්හි දක්‍ෂවූවෙකැයි, භවත් ගෞතමයන් වහන්ස, මනාකොට කියනු ලබන්නෙක් එය මටම කියන්නේය.
“භවත් ගෞතමයන් වහන්ස. මම වනාහි මව් පසින්ද, පිය පසින්ද යන දෙපසින් මනාව උපන්නේ පිරිසිදු පිළිසිඳ ගැනීම් ඇත්තේය. සත්වන පියමහ යුගය දක්වා බැහැර නොදමන ලද්දේය. ජාතිවාදයෙන් නින්‍දා නොකරණ ලද්දේය. වේදය හදාරන්නේය. මන්ත්‍ර දරන්නේය. නිඝණ්ඩු කෙටුහ සහිතවූ අක්‍ෂර ප්‍රභෙද සහිතවූ ඉතිහාසය පස්වෙනිකොට ඇත්තාවූ ත්‍රිවේදයන්ගේ පරතෙරට ගියේය. ව්‍යාකරණ දන්නේය. ලෝකායත මහා පුරුෂ ලක්‍ෂණයන්හි දක්‍ෂවූවෙකැයි, භවත් ගෞතමයන් වහන්ස, මනාකොට කියනු ලබන්නෙක් එය මටම කියන්නේය.