5. 4. 3. 9.
9. ගිහි ව්‍යාකරණ සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
29. 179. “ඉක්බිති අනේපිඬු සිටු තෙම පන්සියයක් පමණ උපාසකවරුන් විසින් පිරිවරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළඹියේය. එළඹ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ට ආමන්ත්‍රණය කළ සේක.
“ශාරීපුත්‍රය, ශික්‍ෂා පද පසෙක්හි සංවරවූ කර්‍මාන්ත ඇති උතුම් සිතෙහි හටගත්තාවූ මේ ආත්මයෙහි සැප විහරණ සතරක් කැමති පරිදි ලබන්නාවූ, පහසුවෙන් ලබන්නාවූ, බහුලව ලබන්නාවූ යම්කිසි සුදු වස්ත්‍ර හඳනා ගිහියෙකු දන්නහුද, හෙතෙම කැමතිවනු ලබන්නේ ක්‍ෂවූ නිරය ඇත්තේ, ක්‍ෂයවූ තිරිසන් යෝනිය ඇත්තේ, ක්‍ෂයවූ ප්‍රේත අපාය ඇත්තේ, ක්‍ෂයවූ සැප නැත්තාවූ, දුකට පිළිසරණවූ නපුරුසේ පතිතවීම් ඇත්තේ වෙමියි. ‘මම නපුරුසේ පතිතවන ස්වභාව නැත්තේ නියතවූ සම්බෝධිය පිහිට කොට ඇත්තේ සෝවාන්වූයේ වෙමි’ යි තෙමේම තමන් ප්‍රකාශ කරන්නේය.
“කවර නම් ශික්‍ෂාපද පසෙක්හි සංවරවූ කර්‍මාන්ත ඇත්තේ වේද යත්?
“ශාරීපුත්‍රය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ප්‍රාණඝාතයෙන් වැළකුණේ වේද, අදත්තාදානයෙන් වැළකුණේ වේද, කාමමිත්‍ථ්‍යාචාරයෙන් වැළකුණේ වේද, මුසාවාදයෙන් වැළකුණේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුණේ වේද.
“මේ ශික්‍ෂා පද පසෙහි සංවරවූ කර්‍මාන්ත ඇත්තේ වෙයි.
“කවර නම් සිවු වැදෑරුම්වූ උතුම් සිතෙහි හටගත්තාවූ මේ ආත්මයෙහිවූ සැප විහරණයන් කැමැති පරිදි ලැබීම ඇත්තේ පහසුවෙන් ලැබීම ඇත්තේ, බහුලව ලැබීම ඇත්තේ වේද?
“ශාරීපුත්‍රය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල පැහැදීමෙන් යුක්තවූයේ වෙයි: ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද අරහත් වන සේක, සම්මා සම්බුද්ධ වන සේක, විජ්ජාචරණ සම්පන්න වන සේක, සුගත වන සේක, ලෝකවිදූ වන සේක, අනුත්තර පුරිසදම්ම සාරථී වන සේක, දෙවිමිනිසුන්ගේ ශාස්තෘ වන සේක, බුද්ධ වන සේක, භාග්‍යවත් වන සේකැ’යි. මේ පළමුවන ආභිචේතසිකවූ දිට්ඨධම්මසුඛවිහාරය තෙම අපිරිසිදු චිත්තයාගේ පිරිසිදු වීම පිණිස, නිර්‍මල නුවූ චිත්තයාගේ නිර්‍මල වීම පිණිස, මොහු විසින් ලබන ලද්දේ වෙයි.
“ශාරීපුත්‍රය, නැවත අනිකක්ද කියමි. ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ධර්මය කෙරෙහි අචල පැහැදීමෙන් යුක්තවූයේ වෙයි: ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාව දේශනා කරන ලද්දේය, තමා විසින්ම දැකිය යුත්තේය, කල් නොයවා ඵල දෙන්නේය, එව බලවයි කීමට සුදුසුය, පැමිණීම සුදුසුය, නුවණැත්තන් විසින් ප්‍රත්‍යක්‍ෂයෙන් දතයුත්තේය’යි. මේ දෙවන ආභිචේතසිකවූ දිට්ඨධම්මසුඛවිහාරය තෙම අපිරිසිදු චිත්තයාගේ පිරිසිදු වීම පිණිස, නිර්‍මල නුවූ චිත්තයාගේ නිර්‍මල වීම පිණිස, මොහු විසින් ලබන ලද්දේ වෙයි.
“ශාරීපුත්‍රය, නැවත අනිකක්ද කියමි. ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම සංඝයා කෙරෙහි අචල පැහැදීමෙන් යුක්තවූයේ වෙයි: ‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මනා පිළිවෙත් ඇත්තේය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඍජු පිළිවෙත් ඇත්තේය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා න්‍යාය පිළිවෙත් ඇත්තේය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සාමීචි පිළිවෙත් ඇත්තේය. යම් මේ පුරුෂ යුගල සතරක් වෙද්ද, පුරුෂ පුද්ගලයෝ අට දෙනෙක් වෙද්ද, මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා දුර සිට ගෙනා දැයට සුදුසුය, ආගන්තුක සත්කාරයට සුදුසුය, දක්‍ෂිණාවට සුදුසුය, දෝත මුදුන් දී වැඳීමට සුදුසුය, ලෝකයාගේ උතුම් පින්කෙත වන්නේය’යි. මේ තුන්වන ආභිචේතසිකවූ දිට්ඨධම්මසුඛවිහාරය තෙම අපිරිසිදු චිත්තයාගේ පිරිසිදු වීම පිණිස, නිර්‍මල නුවූ චිත්තයාගේ නිර්‍මල වීම පිණිස, මොහු විසින් ලබන ලද්දේ වෙයි.