5. 4. 3. 10.
10. ගවෙසී උපාසක සූත්‍රය
30. 180. “එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වල මහත්වූ භික්‍ෂු සංඝයා සමග සැරිසරණ සේක. දීර්‍ඝවූ මාර්‍ගයට පිළිපන්නාවූ භාග්‍යවතුන් වහන්සේ එක්තරා ප්‍රදේශයෙක්හි මහත්වූ සල් වනයක් දුටු සේක දැක මාර්‍ගයෙන් ඉවත්ව ඒ සල් වනය යම් තැනෙක්හිද, එතැනට ඇතුල්ව එක්තරා පෙදෙසෙක්හි සිනා පහළ කල සේක.
ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට මෙබඳු සිතක් විය: “භාග්‍යවතුන් වහන්සේගේ සිනා පහළ කිරීමට හේතුව කවරේද, ප්‍රත්‍යය කවරේද? තථාගතයෝ නිකරුනේ සිනා පහළ නොකෙරෙතියි”
එකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය: “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ සිනා පහළ කිරීමට හේතුව කවරේද, ප්‍රත්‍යය කවරේද? තථාගතයෝ නිකරුනේ සිනා පහළ නොකෙරෙතියි”
“ආනන්‍දය, පෙරවූවක් කියමි. මේ ප්‍රදේශයෙහි සමෘද්‍ධවූද, ඉතා සමෘද්‍ධවූද බොහෝ ජනයා ඇති, මිනිසුන්ගෙන් ගැවසීගත් නුවරක් විය. ආනන්‍දය, ඒ නුවර වනාහි අර්හත් සම්‍යක් සම්බුද්‍ධවූ කාශ්‍යප භාග්‍යවත් තෙම ඇසුරුකොට වාසය කෙළේය.
“ආනන්‍දය, අර්හත් සම්‍යක් සම්බුද්‍ධවූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ වනාහි පංචශීලයන්හි සම්පූර්‍ණකිරීම නැත්තාවූ ගවේසී නම් උපාසකයෙක් වූයේය. ආනන්‍දය, ගවේසී නම් උපාසකයා විසින් පන්සියයක් පමණ උපාසකවරු සරණයන්හි පිහිටුවන ලද්දාහු ශීලයන්හි සම්පූර්‍ණකිරීම නැත්තෝ වූහ.
“ආනන්‍දය, ඉක්බිති ගවේසී නම් උපාසකයාහට මෙබඳු සිතක් විය: ‘මම වනාහි මේ පන්සියයක් උපාසකවරුන්ට බොහෝ උපකාර ඇත්තෙක්, පෙරටුව යන්නෙක්, සමාදන් කරවන්නෙක් වෙමි. මමද ශීලයන්හි සම්පූර්‍ණ කිරීම නැත්තේ වෙමි. මේ පන්සියයක් උපාසකවරුද ශීලයන්හි සම්පූර්‍ණකිරීම නැත්තාහුය. මෙසේ මෙය සමසමවේ. කිසි විශේෂයක් නැත. එබැවින් මම විශේෂය පිළිපදිමි.’
“ආනන්‍දය, ඉක්බිති ගවේසී නම් උපාසකතෙම ඒ පන්සියයක් උපාසකයන් යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, ඒ පන්සියයක් උපාසකයන්ට මෙය කීයේය: “ආයුෂ්මත්නි, අද පටන් මා ශීලයන්හි සම්පූර්‍ණකිරීම ඇත්තෙකු කොට දරව්.”
“ආනන්‍දය, එකල්හි ඒ පන්සියයක් උපාසකයන්ට මෙබඳු සිතක් විය: ‘ගවේසී නම් ආර්‍ය්‍ය තෙමේ වනාහි අපට බොහෝ උපකාර ඇත්තේය. පෙරටුව ගමන් කරන්නේය. සමාදන් කරවන්නෙකි. ගවේසී නම් ආර්‍ය්‍යතෙමේ වනාහි ශීලයන්හි සම්පූර්‍ණ කිරීම ඇත්තෙක් වන්නේය. අපි වනාහි කවර කාරණයකින් එසේ නොවන්නෙමුදැ’ යි
“ආනන්‍දය, ඉක්බිති ඒ පන්සියයක් උපාසකවරු ගවේසී නම් උපාසකතෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ ගවෙසී නම් උපාසකයාහට මෙය කීවාහුය: ‘ගවේසී නම් ආර්‍ය්‍යතෙම අද පටන් මේ පන්සියයක් උපාසකවරු ශීලයන්හි සම්පූර්‍ණ කිරීම ඇත්තාහුයයි දරණ සේක්වාය’ යි.
“ආනන්‍දය, ඉක්බිති ගවේසී නම් උපාසකයාහට මෙබඳු සිතක් විය: ‘මම වනාහි මේ පන්සියයක් උපාසකවරුන්ට බොහෝ උපකාර ඇත්තෙක්, පෙරටුව යන්නෙක්, සමාදන් කරවන්නෙක් වෙමි. මමද ශීලයන්හි සම්පූර්‍ණ කිරීම ඇත්තේ වෙම්. මේ පන්සියයක් උපාසකවරුද ශීලයන්හි සම්පූර්‍ණ කිරීම ඇත්තාහු වෙත්. මෙසේ මෙය සමසමවේ. කිසි විශේෂයක් නැත. එබැවින් මම විශේෂය පිළිපදිමි.’
“ආනන්‍දය, ඉක්බිති ගවේසී නම් උපාසකතෙම ඒ පන්සියයක් උපාසකයන් යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, ඒ පන්සියයක් උපාසකයන්ට මෙය කීයේය: ‘ආයුෂ්මත්නි අද පටන් මා ගම්වැසියන්ගේ ස්වභාවක්වූ, මෛථුනයෙන් වැළකුණාවූ, කාමයන්ගෙන් දුරවූ හැසුරුම් ඇති බ්‍රහ්මචාරියෙකු කොට දරව්.’
“ආනන්‍දය, එකල්හි ඒ පන්සියයක් උපාසකයන්ට මෙබඳු සිතක් විය: ‘ගවේසී නම් ආර්‍ය්‍ය තෙමේ වනාහි අපට බොහෝ උපකාර ඇත්තේය. පෙරටුව ගමන් කරන්නේය. සමාදන් කරවන්නෙකි. ගවේසී නම් ආර්‍ය්‍යතෙමේ වනාහි ගම්වැසියන්ගේ ස්වභාවවූ, මෛථුන සේවනයෙන් වැළකුණාවූ, කාමයන්ගෙන් දුරවූ හැසුරුම් ඇති බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තෙක් වන්නේය. අපි වනාහි කවර කාරණයකින් එසේ නොවන්නෙමුදැයි’.
“ආනන්‍දය, ඉක්බිති ඒ පන්සියයක් උපාසකවරු ගවේසී නම් උපාසකතෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ ගවෙසී නම් උපාසකයාහට මෙය කීවාහුය: ‘ගවේසී නම් ආර්‍ය්‍යතෙමේ අද පටන් මේ පන්සියයක් උපාසකයන්ද, ග්‍රාම්‍ය ධර්‍ම වූ මෛථුන සේවනයෙන් දුරුවූ, කාමයන්ගෙන් දුරුවූ හැසුරුම් ඇති බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තවුන් කොට දරණ සේක්වායි.
“ආනන්‍දය, ඉක්බිති ගවේසී නම් උපාසකයාහට මෙබඳු සිතක් විය: ‘මම වනාහි මේ පන්සියයක් උපාසකවරුන්ට බොහෝ උපකාර ඇත්තෙක්, පෙරටුව යන්නෙක්, සමාදන් කරවන්නෙක් වෙමි. මමද ශීලයන්හි සම්පූර්‍ණ කිරීම් ඇත්තේ වෙමි. මේ පන්සියයක් උපාසකවරුද ශීලයන්හි සම්පූර්‍ණ කිරීම් ඇත්තෝ වෙත්. මමද ග්‍රාම්‍ය ධර්‍ම වූ මෛථුන සේවනයෙන් වැළකුනේ, කාමයන්ගෙන් දුරවූ හැසුරුම් ඇත්තේ බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තෙක් වෙමි. මේ පන්සියයක් උපාසකවරුද, ග්‍රාම්‍ය ධර්මවූ මෛථුන සේවනයෙන් වැළකුනාහු, කාමයන්ගෙන් දුරවූ හැසුරුම් ඇති, බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තාහු වෙත්. මෙසේ මෙය සමසමවේ. කිසි විශේෂයක් නැත. එබැවින් මම විශේෂය පිළිපදිමියි.’