5. 4. 3. 6.
[පීති සූත්රය]
[සැවැත් නිදානය]
26. ඉක්බිති අනේපිඬු සිටු තෙම පන්සියයක් පමණ උපාසකවරුන් විසින් පිරිවරණ ලද්දේ, භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට එළඹියේය. එළඹ, භාග්යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පස්ව උන්නාවූ අනේපිඬු සිටුහට භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“ගෘහපතිය, තෙපිද වනාහි භික්ෂු සංඝයාට චීවරය, පිණ්ඩපාතය, ශයනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකර යන මෙයින් උපස්ථාන කරණ ලද්දාහුය. ගෘහපතිය, ‘අපි භික්ෂු සංඝයාට එළඹ උපස්ථාන කරණ ලද්දෝ වෙමු’ යි එපමණකින්ම සතුට ඇතිකළයුතු නොවෙත්.
ගෘහපතිය, එහෙයින් මෙහි චීවරය, පිණ්ඩපාතය, ශයනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකර යන මෙයින් මෙසේ හික්මිය යුතුයි. කවර නම් උපායකින් ‘අපි කලින් කල උතුම් විවේකය ඇති ප්රීතියට පැමිණ වාසය කරන්නෙමුදැ’ යි ගෘහපතිය, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයයි.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් සාරිපුත්ර ස්ථවිරතෙම භාග්යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, ආශ්චර්ය්යයය. ස්වාමීනි, අද්භූතය. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ විසින් මෙය ඉතාම යහපත්කොට වදාරණ ලදී:-
“ගෘහපතිය, තෙපිද වනාහි භික්ෂු සංඝයාට චීවරය, පිණ්ඩපාතය, ශයනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකර යන මෙයින් උපස්ථාන කරණ ලද්දාහුය. ගෘහපතිය, ‘අපි භික්ෂු සංඝයාට එළඹ උපස්ථාන කරණ ලද්දෝ වෙමු’ යි එපමණකින්ම සතුට ඇතිකළයුතු නොවෙත්. ගෘහපතිය, එහෙයින් මෙහි චීවරය, පිණ්ඩපාතය, ශයනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකර යන මෙයින් මෙසේ හික්මිය යුතුයි. කවර නම් උපායකින් ‘අපි කලින් කල උතුම් විවේකය ඇති ප්රීතියට පැමිණ වාසය කරන්නෙමුදැ’ යි ගෘහපතිය, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුය” යි.
“ස්වාමීනි, යම් කලෙක්හි ආර්ය්යශ්රාවක තෙම උතුම් විවේක ඇති ප්රීතියට පැමිණ වාසය කෙරේද, කරුණු පසක් මොහුට එකල්හි නොවෙත්.
“මොහුට කාමයන් අරභයා උපදනාවූ යම් දුකක් දොම්නසක් වේද, එයද මොහුට ඒ කාලයෙහි නොවේ. මොහුට කාමයන් අරභයා උපදනාවූ යම් සැපයක් සොම්නසක් වේද, එයද මොහුට ඒ කාලයෙහි නොවේ. අකුශල් අරභයා උපදනාවූ යම් දුකක් දොම්නසක් වේද, එයද මොහුට ඒ කාලයෙහි නොවේ. මොහුට අකුශල් අරභයා උපදනාවූ යම් සැපයක් සොම්නසක් වේද, එයද මොහුට ඒ කාලයෙහි නොවේ. ස්වාමීනි, මොහුට කුශල් අරභයා උපදනාවූ යම් දුකක් දොම්නසක් වේද, එයද මොහුට ඒ කාලයෙහි නොවේ.
ස්වාමීනි, යම් කලෙක්හි ආර්ය්යශ්රාවකතෙම උතුම් විවේකය ඇති ප්රීතියට පැමිණ වාසය කෙරේද, එතල්හි මොහුට මේ කරුණු පස නොවෙත්ය” යි කීයේය.
“සාරීපුත්රය, යහපත, යහපත, සාරීපුත්රය. යම් කලෙක්හි ආර්ය්යශ්රාවකතෙම උතුම් විවේකය ඇති ප්රීතියට පැමිණ වාසය කෙරේද, එකල්හි මොහුට කරුණු පසක් නොවෙත්.
මොහුට කාමයන් අරභයා උපදනාවූ යම් දුකක් දොම්නසක් වේද, එයද මොහුට ඒ කාලයෙහි නොවේ. මොහුට කාමයන් අරභයා උපදනාවූ යම් සැපයක් සොම්නසක් වේද, එයද මොහුට ඒ කාලයෙහි නොවේ. අකුශල් අරභයා උපදනාවූ යම් දුකක් දොම්නසක් වේද, එයද මොහුට ඒ කාලයෙහි නොවේ. මොහුට අකුශල් අරභයා උපදනාවූ යම් සැපයක් සොම්නසක් වේද, එයද මොහුට ඒ කාලයෙහි නොවේ. ස්වාමීනි, මොහුට කුශල් අරභයා උපදනාවූ යම් දුකක් දොම්නසක් වේද, එයද මොහුට ඒ කාලයෙහි නොවේ.
සාරීපුත්රය, යම් කලෙක්හි ආර්ය්යශ්රාවක තෙම උතුම් විවේකය ඇති ප්රීතියට පැමිණ වාසය කෙරේද, මෙහි මේ කරුණු පස එකල්හි නොවෙත්ය” යි වදාළ සේක.
5. 4. 3. 7.
[වණිජ්ජා සූත්රය]
[සැවැත් නිදානය]
27. “මහණෙනි, උපාසකයා විසින් නොකටයුතු මේ වෙළඳාම් පසක් වෙත්. කවර පසක්ද යත්?
ආයුධ වෙළඳාමය, සතුන් වෙළඳාමය, මස් පිණිස සතුන් වෙළඳාමය, මත් ද්රව්ය වෙළඳාමය, විෂ ද්රව්ය වෙළඳාමය යන පසයි.
“මහණෙනි, උපාසකයා විසින් නොකටයුතු මේ වෙළඳාම් පසක් වෙත්.
5. 4. 3. 8.
[රාජ සූත්රය]
[සැවැත් නිදානය]
28. “මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? මේ පුරුෂතෙම ප්රාණඝාතය හැර ප්රාණඝාතයෙන් වැළකුනේ වේයයි ඔහු රජහු අල්වාගෙන ප්රාණඝාතයෙන් වැළකීම හේතුකොට ගෙණ නසත්යයි හෝ බඳිත්යයි හෝ රටින් පිට කරත්යයි හෝ සුදුසු පරිදි කෙරෙත්යයි තොප විසින් දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වේද?” “ස්වාමීනි, මේ නොවේමැයි.” “මහණෙනි, යහපත. මේ පුරුෂතෙම ප්රාණඝාතය හැර ප්රාණඝාතයෙන් වැළකුනේ වේයයි ඔහු රජහු අල්වාගෙන ප්රාණඝාතයෙන් වැළකීම හේතුකොට ගෙණ නසත්යයි හෝ බඳිත්යයි හෝ රටින් පිට කරත්යයි හෝ සුදුසු පරිදි කෙරෙත්යයි මහණෙනි, මා විසිනුදු මෙය වනාහි නොම දක්නා ලදී. නොම අසන ලදී. නොම අසන ලදී.
“එසේද වුවත් මේ පුරුෂතෙම ස්ත්රියක හෝ පුරුෂයෙකු හෝ ජීවිතයෙන් තොර කෙළේයයි ඒ මොහු රජහු අල්වාගෙන ප්රාණඝාතය හේතුකොට ගෙණ, නසතියි හෝ බඳිතියි හෝ රටින් නෙරපතියි හෝ සුදුසු පරිද්දක් හෝ කරතියි. එසේම මොහුගේ පාප කර්මයම ප්රකාශ කරත්. තොප විසින් මෙබඳුවූවෙකු දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වේද?” “ස්වාමීනි, අප විසින් දක්නා ලද්දේ වේ. අසන ලද්දේද වේ. අසන්ට ලැබෙන්නේය” යි ද කීවාහුය.