5. 4. 3. 7.
[වණිජ්ජා සූත්‍රය]
[සැවැත් නිදානය]
27. “මහණෙනි, උපාසකයා විසින් නොකටයුතු මේ වෙළඳාම් පසක් වෙත්. කවර පසක්ද යත්?
ආයුධ වෙළඳාමය, සතුන් වෙළඳාමය, මස් පිණිස සතුන් වෙළඳාමය, මත් ද්‍රව්‍ය වෙළඳාමය, විෂ ද්‍රව්‍ය වෙළඳාමය යන පසයි.
“මහණෙනි, උපාසකයා විසින් නොකටයුතු මේ වෙළඳාම් පසක් වෙත්.
5. 4. 3. 8.
[රාජ සූත්‍රය]
[සැවැත් නිදානය]
28. “මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? මේ පුරුෂතෙම ප්‍රාණඝාතය හැර ප්‍රාණඝාතයෙන් වැළකුනේ වේයයි ඔහු රජහු අල්වාගෙන ප්‍රාණඝාතයෙන් වැළකීම හේතුකොට ගෙණ නසත්යයි හෝ බඳිත්යයි හෝ රටින් පිට කරත්යයි හෝ සුදුසු පරිදි කෙරෙත්යයි තොප විසින් දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වේද?” “ස්වාමීනි, මේ නොවේමැයි.” “මහණෙනි, යහපත. මේ පුරුෂතෙම ප්‍රාණඝාතය හැර ප්‍රාණඝාතයෙන් වැළකුනේ වේයයි ඔහු රජහු අල්වාගෙන ප්‍රාණඝාතයෙන් වැළකීම හේතුකොට ගෙණ නසත්යයි හෝ බඳිත්යයි හෝ රටින් පිට කරත්යයි හෝ සුදුසු පරිදි කෙරෙත්යයි මහණෙනි, මා විසිනුදු මෙය වනාහි නොම දක්නා ලදී. නොම අසන ලදී. නොම අසන ලදී.
“එසේද වුවත් මේ පුරුෂතෙම ස්ත්‍රියක හෝ පුරුෂයෙකු හෝ ජීවිතයෙන් තොර කෙළේයයි ඒ මොහු රජහු අල්වාගෙන ප්‍රාණඝාතය හේතුකොට ගෙණ, නසතියි හෝ බඳිතියි හෝ රටින් නෙරපතියි හෝ සුදුසු පරිද්දක් හෝ කරතියි. එසේම මොහුගේ පාප කර්‍මයම ප්‍රකාශ කරත්. තොප විසින් මෙබඳුවූවෙකු දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වේද?” “ස්වාමීනි, අප විසින් දක්නා ලද්දේ වේ. අසන ලද්දේද වේ. අසන්ට ලැබෙන්නේය” යි ද කීවාහුය.
“මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? මේ පුරුෂ තෙම අදත්තාදානයෙන් වැළකුනේයයි ඒ මොහු රජහු අල්වාගෙන අදත්තාදානයෙන් වැළකීම හේතුකොට ගෙණ නසතියි හෝ බඳිතියි හෝ රටින් නෙරපතියි හෝ සුදුසු පරිද්දක් හෝ කරතියි තොප විසින් දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වේද?” “ස්වාමීනි, මේ නොවේමැයි.” “මහණෙනි, යහපත. මේ පුරුෂ තෙම අදත්තාදානයෙන් වැළකුනේයයි ඒ මොහු රජහු අල්වාගෙන අදත්තාදානයෙන් වැළකීම හේතුකොට ගෙණ නසතියි හෝ බඳිතියි හෝ රටින් නෙරපතියි හෝ සුදුසු පරිද්දක් හෝ කරතියි මෙය වනාහි මා විසිනුදු නොම දක්නා ලදී. නොම අසන ලදී.
“එතකුදු වුවත් මේ පුරුෂතෙම ගමින් හෝ වනයෙන් හෝ නුදුන් දෙය සොර සිතින් ගණීද, ඔහු රජහු අල්වාගෙණ අදත්තාදාන හේතුවෙන් නසතියි හෝ බඳිතියි හෝ රටින් නෙරපතියි හෝ සුදුසු පරිද්දක් හෝ කරතියි. එසේම මොහුගේ පාප කර්‍මයම ප්‍රකාශ කරත්. තොප විසින් මෙබඳුවූවෙකු දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වේද?” “ස්වාමීනි, අප විසින් දක්නා ලද්දේ වේ. අසන ලද්දේද වේ. අසන්ට ලැබෙන්නේය” යි ද කීවාහුය.
“මහණෙනි, එය කුමකැයි හඟිව්ද? මේ පුරුෂ තෙම කාමයන්හි වරදවා හැසිරීම හැර කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේවේයයි ඔහු රජහු අල්වාගෙණ කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීම හේතුකොට ගෙණ නසතියි හෝ බඳිතියි හෝ රටින් නෙරපතියි හෝ අදහස් පරිදි කරතියි තොප විසින් දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වේද?” - “ස්වාමීනි, මෙය නොවෙයි.” “මහණෙනි, යහපත. මහණෙනි, මෙහි මේ පුරුෂ තෙම කාමයන්හි වරදවා හැසිරීම හැර කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේවේයයි ඔහු රජහු අල්වාගෙණ කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීම හේතුකොට ගෙණ නසතියි හෝ බඳිතියි හෝ රටින් නෙරපතියි හෝ අදහස් පරිදි කරතියි මා විසිනුදු මෙය නොම දක්නා ලදී. නොම අසන ලදී.
“එතකුදු වුවත් මේ පුරුෂතෙම පර ස්ත්‍රීන් කෙරෙහි, අන් කුමරියන් කෙරෙහි හැසුරුම් ඇති බවට පැමිණේද, ඔහු රජහු අල්වාගෙණ කාමයන්හි වරදවා හැසිරීම හේතුකොට ගෙණ නසතියි හෝ බඳිතියි හෝ රටින් නෙරපතියි හෝ සුදුසු පරිද්දක් හෝ කරතියි, එසේම මොහුගේ පාප කර්‍මයම ප්‍රකාශ කරත්. තොප විසින් මෙබඳුවූවෙකු දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වේද?” “ස්වාමීනි, අප විසින් දක්නා ලද්දේ වේ. අසන ලද්දේද වේ. අසන්ට ලැබෙන්නේය” යි ද කීවාහුය.
“මහණෙනි, එය කුමකැයි හඟිව්ද? මේ පුරුෂ තෙම මුසාවාදය හැර මුසාවාදයෙන් වැළකීම හේතුකොට ගෙණ නසතියි හෝ බඳිතියි හෝ රටින් නෙරපතියි හෝ අදහස් පරිදි කරතියි තොප විසින් දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වේද?” - “ස්වාමීනි, මෙය නොවේමය.” “මහණෙනි, යහපත, මහණෙනි, මේ පුරුෂ තෙම මුසාවාදය හැර මුසාවාදයෙන් වැළකීම හේතුකොට ගෙණ නසතියි හෝ බඳිතියි හෝ රටින් නෙරපතියි හෝ අදහස් පරිදි කරතියි මා විසිනුදු එය නොම දක්නා ලදී. නොම අසන ලදී.