5. 4. 3. 5.
[උපාසක චණ්ඩාල සූත්‍රය]
[සැවැත් නිදානය]
25. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසක තෙම උපාසක චණ්ඩාලයෙක්ද, උපාසක කිළුටක්ද, උපාසක පශ්චිමකයෙක්ද වේ. කවර පසකින්ද යත්:
ශ්‍රද්‍ධා නැත්තේ වේද, දුශ්ශීල වේද, කෝතුහල මඞ්ගල ඇත්තේ වේද, (හෙවත් දුටු ඇසූ ස්පර්‍ශ කළ දෙය මගුල්යයි ගන්නෙක් වේද) මඞ්ගලය පතාද, කර්‍මය නොපතාද, මේ ශාසනයෙන් පිටත්හිද දක්‍ෂිණාවට සුදුස්සෙකු සොයාද, එහිද පළමු දාන මානාදී කටයුතු කෙරේද යන පසිනි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසක තෙම උපාසක චණ්ඩාලයෙක්ද, උපාසක කිළුටක්ද, උපාසක පශ්චිමකයෙක්ද වේ.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසක තෙම උපාසක රත්නයද, උපාසක පද්මයද, උපාසක හෙල පියුමද වේ. කවර පසකින්ද යත්:
ශ්‍රද්‍ධාව ඇත්තේ වේද, සිල්වත් වේද, කෝතුහල මඞ්ගල නැත්තෙක් වේද, කර්‍මය බලාපොරොත්තු වේද, මඞ්ගලය බලාපොරොත්තු නොවේද, මේ ශාසනයෙන් පිටත්හි දක්‍ෂිණාවට සුදුස්සෙකු නොසොයාද, මේ ශාසනයෙහිම දාන මානාදී පළමු කටයුතු දෙය කෙරේද යන පසිනි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසක තෙම උපාසක රත්නයද, උපාසක පද්මයද, උපාසක හෙල පියුමද වේ.
5. 4. 3. 6.
[පීති සූත්‍රය]
[සැවැත් නිදානය]
26. ඉක්බිති අනේපිඬු සිටු තෙම පන්සියයක් පමණ උපාසකවරුන් විසින් පිරිවරණ ලද්දේ, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට එළඹියේය. එළඹ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පස්ව උන්නාවූ අනේපිඬු සිටුහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“ගෘහපතිය, තෙපිද වනාහි භික්‍ෂු සංඝයාට චීවරය, පිණ්ඩපාතය, ශයනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකර යන මෙයින් උපස්ථාන කරණ ලද්දාහුය. ගෘහපතිය, ‘අපි භික්‍ෂු සංඝයාට එළඹ උපස්ථාන කරණ ලද්දෝ වෙමු’ යි එපමණකින්ම සතුට ඇතිකළයුතු නොවෙත්.
ගෘහපතිය, එහෙයින් මෙහි චීවරය, පිණ්ඩපාතය, ශයනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකර යන මෙයින් මෙසේ හික්මිය යුතුයි. කවර නම් උපායකින් ‘අපි කලින් කල උතුම් විවේකය ඇති ප්‍රීතියට පැමිණ වාසය කරන්නෙමුදැ’ යි ගෘහපතිය, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයයි.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, ආශ්චර්‍ය්‍යයය. ස්වාමීනි, අද්භූතය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය ඉතාම යහපත්කොට වදාරණ ලදී:-
“ගෘහපතිය, තෙපිද වනාහි භික්‍ෂු සංඝයාට චීවරය, පිණ්ඩපාතය, ශයනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකර යන මෙයින් උපස්ථාන කරණ ලද්දාහුය. ගෘහපතිය, ‘අපි භික්‍ෂු සංඝයාට එළඹ උපස්ථාන කරණ ලද්දෝ වෙමු’ යි එපමණකින්ම සතුට ඇතිකළයුතු නොවෙත්. ගෘහපතිය, එහෙයින් මෙහි චීවරය, පිණ්ඩපාතය, ශයනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකර යන මෙයින් මෙසේ හික්මිය යුතුයි. කවර නම් උපායකින් ‘අපි කලින් කල උතුම් විවේකය ඇති ප්‍රීතියට පැමිණ වාසය කරන්නෙමුදැ’ යි ගෘහපතිය, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුය” යි.
“ස්වාමීනි, යම් කලෙක්හි ආර්‍ය්‍යශ්‍රාවක තෙම උතුම් විවේක ඇති ප්‍රීතියට පැමිණ වාසය කෙරේද, කරුණු පසක් මොහුට එකල්හි නොවෙත්.
“මොහුට කාමයන් අරභයා උපදනාවූ යම් දුකක් දොම්නසක් වේද, එයද මොහුට ඒ කාලයෙහි නොවේ. මොහුට කාමයන් අරභයා උපදනාවූ යම් සැපයක් සොම්නසක් වේද, එයද මොහුට ඒ කාලයෙහි නොවේ. අකුශල් අරභයා උපදනාවූ යම් දුකක් දොම්නසක් වේද, එයද මොහුට ඒ කාලයෙහි නොවේ. මොහුට අකුශල් අරභයා උපදනාවූ යම් සැපයක් සොම්නසක් වේද, එයද මොහුට ඒ කාලයෙහි නොවේ. ස්වාමීනි, මොහුට කුශල් අරභයා උපදනාවූ යම් දුකක් දොම්නසක් වේද, එයද මොහුට ඒ කාලයෙහි නොවේ.
ස්වාමීනි, යම් කලෙක්හි ආර්‍ය්‍යශ්‍රාවකතෙම උතුම් විවේකය ඇති ප්‍රීතියට පැමිණ වාසය කෙරේද, එතල්හි මොහුට මේ කරුණු පස නොවෙත්ය” යි කීයේය.