5. 4. 2. 5.
5. පඤ්ච පුච්ඡන සූත්‍රය
[සැවැත් නුවර දී ය]
165. “එකල්හි වනාහි ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම, “ඇවැත්නි මහණෙනි,” යි භික්‍ෂූන්ට ඇමතූ සේක. “ඇවැත්නි” කියා ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට ප්‍රතිවචන දුන්හ. ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම මෙය වදාළේය.
“ඇවැත්නි, යම්කිසිවෙක් වනාහි අනිකෙකුගෙන් ප්‍රශ්න අසයිද. ඒ සියල්ල කරුණු පසකින් හෝ මොවුන්ගෙන් එක්තරා කරුණකින් හෝ වෙයි. කවර පසකින්ද යත්?
“නුවණ මඳ බැවින්, ඉතා මුළාවන බැවින් අනිකෙකුගෙන් ප්‍රශ්න අසයි. ලාමක ආසා ඇත්තේ, ආසාවෙන් මඩනා ලද්දේ අනිකාගෙන් ප්‍රශ්න අසයි. පරිභව කරන්නේ අනිකාගෙන් ප්‍රශ්න අසයි. දැනගණු කැමැත්තේ අනිකාගෙන් ප්‍රශ්න අසයි. නොහොත් ඉතා කිපෙමින් අනිකාගෙන් ප්‍රශ්න අසයි. ඉදින් මා විසින් ප්‍රශ්නය අසන ලද්දේ මනාකොටම ප්‍රකාශ කරන්නේ නම් මෙසේ මෙය යහපති. ඉදින් මා විසින් ප්‍රශ්නය අසන ලද්දේ මනාකොටම ප්‍රකාශ නොකරන්නේ නම් මම මොහුට මනාකොටම ප්‍රකාශ කරන්නෙමියි”
“ඇවැත්නි, යම්කිසිවෙක් වනාහි අනිකෙකුගෙන් ප්‍රශ්න අසයිද. ඒ සියල්ල කරුණු පසකින් හෝ මොවුන්ගෙන් එක්තරා කරුණකින් හෝ වෙයි.
“ඇවැත්නි, ‘මම වනාහි මෙබඳු සිත් ඇත්තේ අනිකාගෙන් ප්‍රශ්නය අසමි. ඉදින් මා විසින් ප්‍රශ්නය අසන ලද්දේ මනාකොටම ප්‍රකාශ කරන්නේ නම් මෙසේ මේ යහපති. ඉදින් මා විසින් ප්‍රශ්නය අසන ලද්දේ මනාකොටම ප්‍රකාශ නොකරන්නේ නම්, මම මොහුට මනාකොටම ප්‍රකාශ කරන්නෙමි’ යි වදාළේය.
5. 4. 2. 6.
6. වෙදයිත නිරෝධ සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
16. “එකල්හි වනාහි ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම, “ඇවැත්නි මහණෙනි,” යි භික්‍ෂූන්ට ඇමතූ සේක. “ඇවැත්නි” කියා ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට ප්‍රතිවචන දුන්හ. ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම මෙය වදාළේය.
“ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ශීලයෙන් යුක්තවූයේ, සමාධියෙන් යුක්තවූයේ, ප්‍රඥාවෙන් යුක්තවූයේ සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට සමවදින්නේද වේ. එයින් නැගිටින්නේද වේ. යන මේ කරුණ ඇත්තේය. ඉදින් මේ ආත්මයෙහිම රහත්බවට නොපැමිණෙන්නේ නම් කැබලිකොට බුදින්නාවූ ආහාර ඇති, දෙවියන්ගේ සහභාවය ඉක්මවාම එක්තරා සිතින් නිපදවූ බ්‍රහ්ම කයකට පැමිණියේ සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට පැමිණෙන්නේද එයින් නැගිටින්නේද යන මේ කරුණ ඇත්තේය’ යි
මෙසේ කී කල්හි ආයුෂ්මත් උදායී ස්ථවිර තෙම ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට මේ කීයේය: “ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයෙනි, මෙය කරුණු රහිතයි. අවකාශ රහිතය. ඒ භික්‍ෂු තෙම කබලීකාරාහාරය අනුභව කරන්නාවූ දෙවියන්ගේ සහභාවය ඉක්මවාම එක්තරා මනෝමය බ්‍රහ්ම කයකට පැමිණියේ සංඥා වේදයිත යන නිරෝධ සමාපත්තියට සමවදින්නේද එයින් නැගිටින්නේද යන යමක් ඇද්ද, මේ කරුණ නැත්තේය.”
“දෙවනුවද, ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිර තෙම භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කෙළේය. “ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ශීලයෙන් යුක්තවූයේ, සමාධියෙන් යුක්තවූයේ, ප්‍රඥාවෙන් යුක්තවූයේ සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට සමවදින්නේද වේ. එයින් නැගිටින්නේද වේ. යන මේ කරුණ ඇත්තේය. ඉදින් මේ ආත්මයෙහිම රහත්බවට නොපැමිණෙන්නේ නම් කැබලිකොට බුදින්නාවූ ආහාර ඇති, දෙවියන්ගේ සහභාවය ඉක්මවාම එක්තරා සිතින් නිපදවූ බ්‍රහ්ම කයකට පැමිණියේ සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට පැමිණෙන්නේද එයින් නැගිටින්නේද යන මේ කරුණ ඇත්තේය’ යි. තුන්වෙනුවද ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කෙළේය: “ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ශීලයෙන් යුක්තවූයේ... සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට පැමිණෙන්නේද එයින් නැගිටින්නේද යන මේ කරුණ ඇත්තේය’ යි.”
[දෙවනුවද...] තුන්වෙනුවද ආයුෂ්මත් උදායී ස්ථවිර තෙම ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට මේ කීයේය: “ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයෙනි, මෙය කරුණු රහිතයි. අවකාශ රහිතය. ඒ භික්‍ෂු තෙම කබලීකාරාහාරය අනුභව කරන්නාවූ දෙවියන්ගේ සහභාවය ඉක්මවාම එක්තරා මනෝමය බ්‍රහ්ම කයකට පැමිණියේ සංඥා වේදයිත යන නිරෝධ සමාපත්තියට සමවදින්නේද එයින් නැගිටින්නේද යන යමක් ඇද්ද, මේ කරුණ නැත්තේය.”
“ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන්ට මේ අදහස විය. තුන්වෙනි වර දක්වාම ආයුෂ්මත් උදායී ස්ථවිර තෙම මගේ වචනය වළක්වයි. කිසි භික්‍ෂුවක් තෙම මාගේ වචනය අනුමෝදන් නොවෙයි. මම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණෙන්නෙම් නම් ඉතා යෙහෙක කියායි. ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූ ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කෙළේය: