5. 4. 2. 2.
2. සාරිපුත්ත ආඝාතක විනය සූත්රය
[සැවැත් නුවර දී ය]
162. “එකල්හි වනාහි ආයුෂ්මත් සාරීපුත්ර ස්ථවිර තෙම, “ඇවැත්නි මහණෙනි,” යි භික්ෂූන්ට ඇමතූ සේක. “ඇවැත්නි” කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් සාරීපුත්ර ස්ථවිරයන්ට ප්රතිවචන දුන්හ. ආයුෂ්මත් සාරීපුත්ර ස්ථවිර තෙම මෙය වදාළේය.
“ඇවැත්නි, යම් අරමුණක භික්ෂුහුගේ උපන්නාවූ ක්රෝධය සියලු ආකාරයෙන් දුරුකළ යුතුද, ඒ මේ ක්රොධ සංසිඳීම් පසක් වෙත්.
“කවර පසක්ද යත්? ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම අපිරිසිදුවූ කයින් හැසිරීම් ඇත්තේ, පිරිසිදුවූ වචනයෙන් හැසිරීම් ඇත්තේ වෙයිද, ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්රෝධය දුරු කටයුතු වේ.
“ඇවැත්නි, මේ ශාසනයෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් අපිරිසිදුවූ වචනයෙන් හැසිරීම් ඇත්තේ, පිරිසිදුවූ කයින් හැසිරීම් ඇත්තේ වේද, ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්රෝධය දුරු කටයුතු වේ.
“ඇවැත්නි, මේ ශාසනයෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් තෙම අපිරිසිදුවූ කයින් හැසිරීම් ඇත්තේ, අපිරිසිදුවූ වචනයෙන් හැසිරීම් ඇත්තේ වේද, කලින් කල චිත්තයා සම්බන්ධ අවකාශයක්, චිත්තයා සම්බන්ධ ප්රසාදයකුත් ලබාද, ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්රෝධය දුරු කටයුතු වේ.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම අපිරිසිදුවූ කයින් හැසිරීම් ඇත්තේ, අපිරිසිදුවූ වචනයෙන් හැසිරීම් ඇත්තේ වෙයිද, කලින් කල චිත්තයාගේ අවකාශයකුක්, චිත්තයාගේ ප්රසාදයකුත් නොලබාද, ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්රෝධය දුරු කටයුතු වේ.
“ඇවැත්නි, මේ ශාසනයෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් තෙම පිරිසිදුවූ කයින් හැසිරීම ඇත්තේ, පිරිසිදුවූ වචනයෙන් හැසිරීම ඇත්තේ වේද, කලින් කල චිත්තයාගේ අවකාශයක්, චිත්තයාගේ ප්රසාදයකුත් ලබාද, ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්රෝධය දුරු කටයුතු වේ.
“ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්රෝධය දුරු කටයුතු වේ. කෙසේ ඒ පුද්ගලයා කෙරෙහි ක්රෝධය දුරු කටයුතුද?
“ඇවැත්නි, යම් සේ පංසුකූලික භික්ෂුවක් තෙම වීථියෙහි රෙදි කඩක් දැක, වම් පයින් මැඩ, දකුණු පයින් දිග හැර එහි යම් තද කොටසක් වේද, එය පලා ගෙණ යන්නේද, ඇවැත්නි, මෙපරිද්දෙන්ම යම් මේ පුද්ගලයෙක් තෙම අපිරිසිදුවූ කයින් හැසිරීම් ඇත්තේ, පිරිසිදුවූ වචනයෙන් හැසිරීම් ඇත්තේද, මොහුගේ යම් අපිරිසිදු කයින් හැසිරීම් බවක් වේද, ඒ කාලයෙහි මොහුගේ එය මෙනෙහි නොකටයුතුයි. මොහුගේ යම් පිරිසිදු වචනයෙන් හැසිරීම් බවක් වේ නම් ඕ තොමෝ එකල්හි මෙනෙහි කළ යුත්තීය. ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්රෝධය දුරු කටයුතු වේ.
“ඇවැත්නි, මේ ශාසනයෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් අපිරිසිදුවූ වචනයෙන් හැසිරීම් ඇත්තේ, පිරිසිදුවූ කයින් හැසිරීම් ඇත්තේ වේද, ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්රෝධය දුරු කටයුතු වේ. කෙසේ ඒ පුද්ගලයා කෙරෙහි ක්රෝධය දුරු කටයුතුද?
“ඇවැත්නි, යම් සේ පොකුණක් සෙවෙල්, පරඬැල්වලින් ගැවසුනී වේද, ඉක්බිති ග්රීෂ්මයෙන් තැවුනාවූ, ග්රීෂ්මයෙන් පෙළුනාවූ. ක්ලාන්තවූ, හටගත් තෘෂ්ණා ඇත්තාවූ, පැන් බොනු කැමතිවූ පුරුෂයෙක් එන්නේද, හෙතෙම ඒ පොකුණට බැස, දෙඅතින් එහා මෙහා සෙවෙල් පරඬැල් ඉවත්කොට. හස්තපුටයෙන් පානයකොට යන්නේද, ඇවැත්නි, මෙපරිද්දෙන්ම යම් මේ පුද්ගලයෙක් තෙම, අපිරිසිදු වචනයෙන් හැසිරීම ඇත්තේ, පිරිසිදු කයින් හැසිරීම ඇත්තේද, මොහුගේ යම් අපිරිසිදු වචනයෙන් හැසිරීම් බවක් වේද, ඕ තොමෝ එකල්හි මෙනෙහි නොකට යුත්තීය. මොහුගේ යම් පිරිසිදු කයින් හැසිරීම් ඇති බවකුත්, වේනම් එකල්හි මෙනෙහි කට යුත්තීය. ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්රෝධය දුරු කටයුතු වේ.