5. 4. 2. 3.
3. අලංසාකච්ඡ සූත්‍රය
[සැවැත් නුවර දී ය]
163. “එකල්හි වනාහි ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම, “ඇවැත්නි මහණෙනි,” යි භික්‍ෂූන්ට ඇමතූ සේක. “ඇවැත්නි” කියා ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට ප්‍රතිවචන දුන්හ. ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම මෙය වදාළේය.
“ඇවැත්නි, ධර්‍ම පසකින් යුක්තවූ භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ගේ සාකච්ඡාවට සුදුසු වෙයි. කවර පසකින්ද යත්?
“ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම, තෙමේත් ශීලයෙන් යුක්ත වේද, ශීල සම්පත්තිය පිළිබඳ කථාවෙහි ආවාවූ ප්‍රශ්නය ප්‍රකාශ කරන්නේත් වේද, තෙමේත් සමාධියෙන් යුක්ත වේද, සමාධි සම්පත්තිය පිළිබඳ කථාවෙහි ආවාවූ ප්‍රශ්න විසඳන්නේත් වේද, තෙමේත් ප්‍රඥාවෙන් යුක්ත වේද, ප්‍රඥා සම්පත්තිය පිළිබඳ කථාවෙහි ආවාවූ ප්‍රශ්න විසඳන්නේත් වේද, තෙමේත් විමුක්තියෙන් යුක්ත වේද, විමුක්ති සම්පත්තිය පිළිබඳ කථාවෙහි ආවාවූ ප්‍රශ්න විසඳන්නේත් වේද, තෙමේත් විමුක්ති ඥාන දර්‍ශනයෙන් යුක්ත වේද, විමුක්ති ඥාන දර්‍ශන සම්පත්තිය පිළිබඳ කථාවෙහි ආවාවූ ප්‍රශ්න විසඳන්නේත් වේද.
ඇවැත්නි, මේ පඤ්ච ධර්මයන්ගෙන් යුක්තවූ භික්ෂුව සබ්‍රහ්මචාරීන් සමඟ සාකච්ඡාවට සුදුසු වේ.
5. 4. 2. 4.
4. අලසාංජීව සූත්‍රය
[සැවැත් නුවර දී ය]
164. “එකල්හි වනාහි ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම, “ඇවැත්නි මහණෙනි,” යි භික්‍ෂූන්ට ඇමතූ සේක. “ඇවැත්නි” කියා ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට ප්‍රතිවචන දුන්හ. ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම මෙය වදාළේය.
“ඇවැත්නි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම සබ්‍රම්සරුන්ගේ සමාන ජීවිකාවට සුදුසු වේ. කවර පසකින්ද යත්?
“ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම, තෙමේත් ශීලයෙන් යුක්ත වේද, ශීල සම්පත්තිය පිළිබඳ කථාවෙහි ආවාවූ ප්‍රශ්නය ප්‍රකාශ කරන්නේත් වේද, තෙමේත් සමාධියෙන් යුක්ත වේද, සමාධි සම්පත්තිය පිළිබඳ කථාවෙහි ආවාවූ ප්‍රශ්න විසඳන්නේත් වේද, තෙමේත් ප්‍රඥාවෙන් යුක්ත වේද, ප්‍රඥා සම්පත්තිය පිළිබඳ කථාවෙහි ආවාවූ ප්‍රශ්න විසඳන්නේත් වේද, තෙමේත් විමුක්තියෙන් යුක්ත වේද, විමුක්ති සම්පත්තිය පිළිබඳ කථාවෙහි ආවාවූ ප්‍රශ්න විසඳන්නේත් වේද, තෙමේත් විමුක්ති ඥාන දර්‍ශනයෙන් යුක්ත වේද, විමුක්ති ඥාන දර්‍ශන සම්පත්තිය පිළිබඳ කථාවෙහි ආවාවූ ප්‍රශ්න විසඳන්නේත් වේද.
ඇවැත්නි, මේ පඤ්ච ධර්මයන්ගෙන් යුක්තවූ භික්ෂුව සබ්‍රහ්මචාරීන් සමඟ විසීමට සුදුසු වේ.
5. 4. 2. 5.
5. පඤ්ච පුච්ඡන සූත්‍රය
[සැවැත් නුවර දී ය]
165. “එකල්හි වනාහි ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම, “ඇවැත්නි මහණෙනි,” යි භික්‍ෂූන්ට ඇමතූ සේක. “ඇවැත්නි” කියා ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට ප්‍රතිවචන දුන්හ. ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම මෙය වදාළේය.
“ඇවැත්නි, යම්කිසිවෙක් වනාහි අනිකෙකුගෙන් ප්‍රශ්න අසයිද. ඒ සියල්ල කරුණු පසකින් හෝ මොවුන්ගෙන් එක්තරා කරුණකින් හෝ වෙයි. කවර පසකින්ද යත්?
“නුවණ මඳ බැවින්, ඉතා මුළාවන බැවින් අනිකෙකුගෙන් ප්‍රශ්න අසයි. ලාමක ආසා ඇත්තේ, ආසාවෙන් මඩනා ලද්දේ අනිකාගෙන් ප්‍රශ්න අසයි. පරිභව කරන්නේ අනිකාගෙන් ප්‍රශ්න අසයි. දැනගණු කැමැත්තේ අනිකාගෙන් ප්‍රශ්න අසයි. නොහොත් ඉතා කිපෙමින් අනිකාගෙන් ප්‍රශ්න අසයි. ඉදින් මා විසින් ප්‍රශ්නය අසන ලද්දේ මනාකොටම ප්‍රකාශ කරන්නේ නම් මෙසේ මෙය යහපති. ඉදින් මා විසින් ප්‍රශ්නය අසන ලද්දේ මනාකොටම ප්‍රකාශ නොකරන්නේ නම් මම මොහුට මනාකොටම ප්‍රකාශ කරන්නෙමියි”
“ඇවැත්නි, යම්කිසිවෙක් වනාහි අනිකෙකුගෙන් ප්‍රශ්න අසයිද. ඒ සියල්ල කරුණු පසකින් හෝ මොවුන්ගෙන් එක්තරා කරුණකින් හෝ වෙයි.
“ඇවැත්නි, ‘මම වනාහි මෙබඳු සිත් ඇත්තේ අනිකාගෙන් ප්‍රශ්නය අසමි. ඉදින් මා විසින් ප්‍රශ්නය අසන ලද්දේ මනාකොටම ප්‍රකාශ කරන්නේ නම් මෙසේ මේ යහපති. ඉදින් මා විසින් ප්‍රශ්නය අසන ලද්දේ මනාකොටම ප්‍රකාශ නොකරන්නේ නම්, මම මොහුට මනාකොටම ප්‍රකාශ කරන්නෙමි’ යි වදාළේය.