5. 4. 1. 8.
8. සාරජ්ජොක්කන්ත සූත්රය
[සැවැත් නුවර නිදාන කොට ගෙනයි]
8. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්ෂු තෙම දොම්නසට බැසගත්තේ වෙයි. කවර පසකින්ද යත්:
මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම ශ්රද්ධා නැත්තේ වේද, දුශ්ශීල වේද, අල්පශ්රුත වේද, කුසීත වේද, දුෂ්ප්රාඥ වේද යන පසිනි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්ෂු තෙම දොම්නසට බැසගත්තේ වෙයි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්ෂු තෙම විශාරදවූයේ හෙවත් සොම්නසට පැමිණියේ වෙයි. කවර පසකින්ද යත්:
මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම ශ්රද්ධා ඇත්තේ වේද, සිල්වත් වේද, බහුශ්රුත වේද, පටන්ගන්නා ලද වීර්ය්යය ඇත්තේ වේද, ප්රභා ඇත්තේ වේද යන පසිනි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්ෂු තෙම විශාරදවූයේ හෙවත් සොම්නසට පැමිණියේ වෙයි.
5. 4. 1. 9.
9. දුක්කර ධම්ම දෙසනා සූත්රය
9. “එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝොෂිතාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් උදායී ස්ථවිර තෙම මහත්වූ ගිහි පිරිසකින් පිරිවරණ ලද්දේ ධර්ම දේශනා කරමින් හුන්නේ වෙයි. ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම මහත්වූ ගිහි පිරිසකින් පිරිවරණ ලදුව ධර්ම දේශනා කරමින් උන්නාවූ ආයුෂ්මත් උදායී ස්ථවිරයන් දුටුයේමය. දැක භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්යවතුන් වහන්සේට මෙය සැළකෙළේය. “ස්වාමීනි, ආයුෂමත් උදායී ස්ථවිර තෙම මයත්වූ ගිහි පිරිසකින් පිරිවරණ ලද්දේ ධර්මය දේශනා කෙරේය” යි.
“ආනන්දය, අනුන්ට ධර්මය දේශනා කරන්ට පහසු නොවේමැයි. ආනන්දය, අනුන්ට ධර්මය දේශනා කරන්නහු විසින් ධර්ම පසක් තමන් කෙරෙහි පිහිටුවා අනුන්ට ධර්මය දේශනා කටයුතු වේ. කවර පසක්ද යත්?
පිළිවෙළ කථාව කියන්නෙමියි අනුන්ට ධර්මය දේශනා කටයුතු වේ. කරුණු දැක්වීම් ඇත්තේ කථාව කියන්නෙමියි අනුන්ට ධර්මය දේශනා කටයුතු වේ. අනුකම්පා ඇතිබව නිසා කථාව කියන්නෙමියි අනුන්ට ධර්මය දේශනා කටයුතු වේ. ආමිෂ ලාභය බලාපොරොත්තු නොවන්නේ කථාව කියන්නෙමියි අනුන්ට ධර්මය දේශනා කටයුතු වේ. තමන්ද, අනුන්ද ගුණයෙන් නොපෙලා කථාව කියන්නෙමියි අනුන්ට ධර්මය දේශනා කටයුතු වේ.
“ආනන්දය, අනුන්ට ධර්මය දේශනා කරන්ට පහසු නොවේමැයි. ආනන්දය, අනුන්ට ධර්මය දේශනා කරන්නහු විසින් ධර්ම පසක් තමන් කෙරෙහි පිහිටුවා අනුන්ට ධර්මය දේශනා කටයුතු වේ.
5. 4. 1. 10.
10. දුප්පටිවිනොදය සූත්රය
[සැවැත් නුවර නිදාන කොට ගෙනයි]
10. “මහණෙනි, උපන්නාවූ මේ පසක් දුරුකරන්ට නොහැකි වෙත්. කවර පසක්ද යත්?
උපන්නාවූ රාගය තෙම දුරු කිරීමට නොහැකි වේ. උපන්නාවූ ද්වේෂය තෙම දුරු කිරීමට නොහැකි වේ. උපන්නාවූ මෝහය තෙම දුරු කිරීමට නොහැකි වේ. උපන්නාවූ වැටහීම (හෙවත්) කියනු කැමති බව දුරු කිරීමට නොහැකි වේ. උපන්නාවූ ගමන් යාමෙහි සිත දුරු කිරීමට නොහැකි වේ.
යන පසයි. මහණෙනි, මේ පස වනාහි උපන්නාහු දුරුකිරීමට නොහැකි වෙත්ය” යි.
සද්ධම්මවග්ගො පඨමො.
එහි උද්දානය:
සද්ධම්මනියාම සූත්ර තුනයි, සද්ධම්මසම්මොස සූත්ර තුනයි, දුක්කථා සූත්රයයි, සාරජ්ජ සූත්රයයි, උදායී සූත්රයයි, දුප්පටිවිනොදය සූත්රයයි (යන මේ දසයයි).