1. සද්ධම්ම වර්ගය
5. 4. 1. 1.
1. අනෙකග්ග චිත්ත සූත්රය
[සාවත්ථියෙහි නිදානයි]
151. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූයේ සද්ධර්මය අසන්නේද, කුශල ධර්මයන්හි සම්පූර්ණ කරණ ලද මාර්ග නියමයන්ට බැසගන්ට නුසුදුසු වේ.
“කවර පසකින්ද යත්, ධර්ම කථාවට පරිභව කෙරේද, කථිකයාට පරිභව කෙරේද, තමාට පරිභව කෙරේද, වික්ෂිප්ත සිත් ඇත්තේ ධර්මය අසාද, එකඟ නොවූ සිත් ඇත්තේ නුනුවණින් මෙනෙහි කෙරේද යන පසිනි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූයේ සද්ධර්මය අසන්නේද, කුශල ධර්මයන්හි සම්පූර්ණ කරණ ලද මාර්ග නියමයන්ට බැසගන්ට නුසුදුසු වේ.
“මහණෙනි, කරුණු පසකින් යුක්තව සද්ධර්මය අසන්නේ, කුශල ධර්මයන්හි සම්පූර්ණ කරණ ලද මාර්ග නියමයන්ට බැසගන්ට සුදුසු වේ.
“කවර පසකින්ද යත්? කථාවට පරිභව නොකෙරේද, කථිකයාට පරිභව නොකෙරේද, තමාට පරිභව නොකෙරේද, වික්ෂිප්ත නොවූ සිත් ඇත්තේ ධර්මය අසාද, එකඟ සිත් ඇත්තේ නුවණින් මෙනෙහි කෙරේද යන පසිනි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තව සද්ධර්මය අසන්නේ, කුශල ධර්මයන්හි සම්පූර්ණ කරණ ලද මාර්ග නියමයන්ට බැසගන්ට සුදුසු වේ.
5. 4. 1. 2.
2. දුප්පඤ්ඤ සූත්රය
[සාවත්ථියෙහි නිදානයි]
152. “මහණෙනි, කරුණු පසකින් යුක්තව සද්ධර්මය අසන්නේද, කුශල ධර්මයන්හි සම්පූර්ණ කරණ ලද මාර්ග නියමයන්ට බැසගන්ට නුසුදුසු වේ.
“කවර පසකින්ද යත්, කථාවට පරිභව කෙරේද, කථිකයාට පරිභව කෙරේද, තමාට පරිභව කෙරේද, ජඩවූ, කෙළතොලුවූ, දුෂ්ප්රාඥයෙක් වේද, නොදන්නා ලද්දෙහි දන්නා ලද්දෙමි යන සිත් ඇත්තේ වේද, යන පසිනි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තව සද්ධර්මය අසන්නේද, කුශල ධර්මයන්හි සම්පූර්ණ කරණ ලද මාර්ග නියමයන්ට බැසගන්ට නුසුදුසු වේ.
“මහණෙනි, කරුණු පසකින් යුක්තව සද්ධර්මය අසන්නේ, කුශල ධර්මයන්හි සම්පූර්ණ කරණ ලද මාර්ග නියමයන්ට බැසගන්ට සුදුසු වේ.
“කවර පසකින්ද යත්, කථාවට පරිභව නොකෙරේද, කථිකයාට පරිභව නොකෙරේද, තමාට පරිභව නොකෙරේද, ජඩ නොවූ, කෙළතොළු නොවූ, ප්රඥා ඇත්තෙක් වේද, නොදන්නා ලද්දෙහි දන්නා ලද්දෙමි යන සිත් ඇත්තේ නොවේද, (යන පසිනි.)
“මහණෙනි, කරුණු පසකින් යුක්තව සද්ධර්මය අසන්නේ, කුශල ධර්මයන්හි සම්පූර්ණ කරණ ලද මාර්ග නියමයන්ට බැසගන්ට සුදුසු වේ.
5. 4. 1. 3.
3. ඤාතමානි සූත්රය
[සාවත්ථියෙහි නිදානයි]
153. “මහණෙනි, කරුණු පසකින් යුක්තව බණ අසන්නේද, කුශල ධර්මයන්හි සම්පූර්ණ කරණ ලද මාර්ග නියමයට බැසගන්ට නුසුදුසු වේ.
“කවර පසකින්ද යත්? ගුණමකු වූයේ, ගුණමකු බැවින් මඩනා ලද සිත් ඇත්තේ, ධර්මය අසාද, හෙළා දක්නා සිත් ඇත්තේ, සිදුරු සොයමින් ධර්මය අසාද, ධර්ම දේශකයා කෙරෙහි ගටනා සිත් ඇත්තේ, හටගත් ක්රොධ හුල් ඇත්තේ වේද, ජඩවූ, කෙළතොලුවූ, දුෂ්ප්රාඥයෙක් වේද, නොදන්නා ලද්දෙහි දන්නා ලද්දේ වෙමි යන සිත් ඇත්තේ වේද, (යන පසිනි.)
“මහණෙනි, කරුණු පසකින් යුක්තව බණ අසන්නේද, කුශල ධර්මයන්හි සම්පූර්ණ කරණ ලද මාර්ග නියමයට බැසගන්ට නුසුදුසු වේ.
“මහණෙනි, කරුණු පසකින් යුක්තව බණ අසන්නේ, කුශල ධර්මයන්හි සම්පූර්ණ කරණ ලද මාර්ග නියමයට බැසගන්ට සුදුසු වේ.
“කවර පසකින්ද යත? ගුණමකු නොවූයේ, ගුණමකු බැවින් නොමඩනා ලද්දේ, ධර්මය අසාද, හෙළා දක්නා සිත් නැත්තේ, සිදුරු සෙවීම නැත්තේ ධර්මය අසාද, ධර්ම දේශකයා කෙරෙහි නොගටනා සිත් ඇත්තේ, හටගත් ක්රොධ හුල් රහිත වේද, ජඩ නොවූයේ කෙළතොළු නොවූයේ, ප්රඥා ඇත්තේ වේද, නොදන්නා ලද්දෙහි දන්නා ලද්දේ වෙමි යන සිත් ඇති නොවේද, යන පසිනි.”
“මහණෙනි, කරුණු පසකින් යුක්තව බණ අසන්නේ, කුශල ධර්මයන්හි සම්පූර්ණ කරණ ලද මාර්ග නියමයට බැසගන්ට සුදුසු වේ.
5. 4. 1. 4.
4. පඨම සද්ධම්මන්තරධාන සූත්රය
[සාවත්ථියෙහි නිදානයි]
154. “මහණෙනි, මේ ධර්ම පසක් සද්ධර්මයාගේ මුවහවීම පිණිස අතුරුදහන්වීම පිණිස පවතිත්.
“කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුහු සකස්කොට ධර්මය නොඅසත්ද, සකස්කොට ධර්මය නොපිරිවහත්ද, සකස්කොට ධර්මය නොදරත්ද, සකස්කොට දරන ලද ධර්මයන්ගේ අර්ත්ථය පරීක්ෂා නොකරත්ද, සකස්කොට අන්ර්ථය දැන, ධර්මය දැන, ධර්මයට අනු ධර්මයෙහි නොපිළිපදිද්ද යන පසයි.
“මහණෙනි, මේ ධර්ම පසක් සද්ධර්මයාගේ මුවහවීම පිණිස අතුරුදහන්වීම පිණිස පවතිත්.