5. 4. 1. 10.
10. දුප්පටිවිනොදය සූත්‍රය
[සැවැත් නුවර නිදාන කොට ගෙනයි]
10. “මහණෙනි, උපන්නාවූ මේ පසක් දුරුකරන්ට නොහැකි වෙත්. කවර පසක්ද යත්?
උපන්නාවූ රාගය තෙම දුරු කිරීමට නොහැකි වේ. උපන්නාවූ ද්වේෂය තෙම දුරු කිරීමට නොහැකි වේ. උපන්නාවූ මෝහය තෙම දුරු කිරීමට නොහැකි වේ. උපන්නාවූ වැටහීම (හෙවත්) කියනු කැමති බව දුරු කිරීමට නොහැකි වේ. උපන්නාවූ ගමන් යාමෙහි සිත දුරු කිරීමට නොහැකි වේ.
යන පසයි. මහණෙනි, මේ පස වනාහි උපන්නාහු දුරුකිරීමට නොහැකි වෙත්ය” යි.
සද්ධම්මවග්ගො පඨමො.
එහි උද්දානය:
සද්ධම්මනියාම සූත්‍ර තුනයි, සද්ධම්මසම්මොස සූත්‍ර තුනයි, දුක්කථා සූත්‍රයයි, සාරජ්ජ සූත්‍රයයි, උදායී සූත්‍රයයි, දුප්පටිවිනොදය සූත්‍රයයි (යන මේ දසයයි).
2. අඝාත වර්‍ගය
5. 4. 2. 1.
1. ආඝාත පටි විනය සූත්‍රය
[සැවැත් නුවර දී ය]
161. “මහණෙනි, යම් අරමුණෙක්හි උපන්නාවූ ක්‍රෝධය සියලු ආකාරයෙන් දුරුකටයුතුද ඒ මේ ක්‍රොධ සංසිඳීම් පසක් වෙත්.
“කවර පසක්ද යත්? මහණෙනි, යම් පුද්ගලයෙක් කෙරෙහි ක්‍රෝධය උපදීනම්, ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රිය වැඩිය යුතුයි. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි ක්‍රෝධය දුරුකටයුතු වේ.
“මහණෙනි, යම් පුද්ගලයෙක් කෙරෙහි ක්‍රෝධය උපදීනම්, ඒ පුද්ගලයා කෙරෙහි කරුණාව වැඩිය යුතුයි. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි ක්‍රෝධය දුරුකටයුතු වේ.
“මහණෙනි, යම් පුද්ගලයෙක් කෙරෙහි ක්‍රෝධය උපදීනම්, ඒ පුද්ගලයා කෙරෙහි උපෙක්‍ෂාව වැඩිය යුතුයි. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි ක්‍රෝධය දුරුකටයුතු වේ.
“මහණෙනි, යම් පුද්ගලයෙක් කෙරෙහි ක්‍රෝධය උපදීනම්, ඒ පුද්ගලයා කෙරෙහි සිහි නොකිරීමට, මෙනෙහි නොකිරීමට පැමිණිය යුතුයි. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි ක්‍රෝධය දුරුකටයුතු වේ.
“මහණෙනි, යම් පුද්ගලයෙක් කෙරෙහි ක්‍රෝධය උපදීනම්, ඒ පුද්ගලයා කෙරෙහි ආයුෂ්මත් තෙමේ කර්‍මය ස්වකීය කොට ඇත්තේ, කර්‍මය උරුම කොට ඇත්තේ, කර්‍මය උත්පත්ති කාරණාකොට ඇත්තේ, කර්‍මය නෑයන් කොට ඇත්තේය. කර්‍මය පිහිට කොට ඇත්තේය. යහපත්වූ හෝ ලාමකවූ හෝ යම් කර්‍මයක් කරන්නේ එයට උරුම ඇත්තෙක් වන්නේයයි කර්‍මය ස්වකීය කොට ඇති බව අධිෂ්ඨාන කළ යුතුයි. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි ක්‍රෝධය දුරුකටයුතු වේ.
“මහණෙනි, යම් අරමුණෙක්හි උපන්නාවූ ක්‍රෝධය සියලු ආකාරයෙන් දුරුකටයුතුද ඒ මේ ක්‍රොධ සංසිඳීම් පසක් වෙත්.
5. 4. 2. 2.
2. සාරිපුත්ත ආඝාතක විනය සූත්‍රය
[සැවැත් නුවර දී ය]
162. “එකල්හි වනාහි ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම, “ඇවැත්නි මහණෙනි,” යි භික්‍ෂූන්ට ඇමතූ සේක. “ඇවැත්නි” කියා ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට ප්‍රතිවචන දුන්හ. ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම මෙය වදාළේය.