5. 3. 5. 7.
7. අසප්පුරිසදාන සූත්රය
[සැවැත් නුවර නිදානයි]
147. “මහණෙනි, මේ අසත්පුරුෂ දාන පසක් වෙත්. කවර පසක්ද යත්:
සකස් නොකොට දානය දේද, සිතින් ආදර නොකොට දේද, සියතින් නොදේද, දමා ගසනු කැමැත්තෙක් මෙන් දේද, බලාපොරොත්තු රහිතව දේද, යන පසයි.
මහණෙනි, මොහු වනාහි අසත්පුරුෂ දාන පස වෙත්.
“මහණෙනි, මේ සත්පුරුෂ දාන පසක් වෙත්. කවර පසක්ද යත්:
සකස් කොට දානය දේද, සිතින් ආදර කොට දේද, සියතින් දේද, නොදමා ගසන ලද්දක් මෙන් දේද, බලාපොරොත්තු සහිතව දේද,
මහණෙනි, මේ පස වනාහි සත්පුරුෂ දාන වෙත්යයි වදාළ සේක.
5. 3. 5. 8.
8. සප්පුරිසදාන සූත්රය
[සැවැත් නුවර නිදානයි]
148. “මහණෙනි, මේ සත්පුරුෂ දාන පසක් වෙත්. කවර පසක්ද යත්:
ශ්රද්ධාවෙන් දානය දේද, සකස් වශයෙන් දානය දේද, සුදුසු කාලයෙහි දානය දේද, මුදනලද ත්යාග සිත් ඇත්තේ දානය දේද, තමාද, අනුන්ද නොපෙලා දානය දේද (යන පසයි.)
“මහණෙනි, ශ්රද්ධාවෙන් වනාහි දානය දී යම් යම් තැනෙක්හි ඒ දානයාගේ විපාතය උපදීද, (ඒ ඒ තන්හි) ආඪ්ය වූයේද, මහත් ධන ඇත්තේද, මහත් සම්පත් ඇත්තේද වේ. විශිෂ්ට රූ ඇත්තේ, දැකුම්කළුවූයේ, ප්රසාද එළවන්නේ, උතුම්වූ වර්ණ සෞන්දර්ය්යයෙන් යුක්තවූයේද වේ.
“මහණෙනි, සකස් වශයෙන් වනාහි දානය දී යම් යම් තැනෙක්හි ඒ දානයාගේ විපාතය උපදීද, (ඒ ඒ තන්හි) ආඪ්ය වූයේද, මහත් ධන ඇත්තේද, මහත් සම්පත් ඇත්තේද වේ. මොහුගේ පුත්රයෝය කියා හෝ, භාර්ය්යාවය කියා හෝ, දාසයෝය කියා හෝ, පණිවිඩකාරයෝය කියා හෝ, කම්කරුවෝය කියා හෝ ඒ යම් කෙනෙකුන් වෙද්ද, ඔවුහුද කියන ලද්ද අසන්ට කැමති වෙත්. කණ එළවා තබත්. දැන ගැනීමට සිත එළවා තබත්.
“මහණෙනි, සුදුසු කාලයෙහි වනාහි දානය දී යම් යම් තැනෙක්හි ඒ දානයාගේ විපාතය උපදීද, (ඒ ඒ තන්හි) ආඪ්ය වූයේද, මහත් ධන ඇත්තේද, මහත් සම්පත් ඇත්තේද වේ. මොහුට සුදුසු කල්හි පැමිණියාවූ සම්පත්ද බොහෝ වෙත්.
“මහණෙනි, මුදනලද සිත් ඇතිව වනාහි දානය දී යම් යම් තැනෙක්හි ඒ දානයාගේ විපාතය උපදීද, (ඒ ඒ තන්හි) ආඪ්ය වූයේද, මහත් ධන ඇත්තේද, මහත් සම්පත් ඇත්තේද වේ. මහත්වූද පස්කම් ගුණයන්හි පරිභෝග කිරීමට සිත නැමෙයි.
“මහණෙනි, තමන්ද අනුන්ද නොපෙලා වනාහි දානය දී යම් යම් තැනෙක්හි ඒ දානයාගේ විපාතය උපදීද, (ඒ ඒ තන්හි) ආඪ්ය වූයේද, මහත් ධන ඇත්තේද, මහත් සම්පත් ඇත්තේද වේ. මොහුගේ සම්පත්වලට ගින්නෙන් හෝ දියෙන් හෝ, රජුන්ගෙන් හෝ, සොරුන්ගෙන් හෝ, අප්රිය දායාදයන්ගෙන් හෝ, කොයිනුත් වැනසීමක්ද නොපැමිණේ.
මහණෙනි, මොහු වනාහි සත්පුරුෂ දාන පස වෙත්ය” යි වදාළ සේක.
5. 3. 5. 9.
9. පඨම සමය විමුත්ත සූත්රය
[සැවැත් නුවර නිදානයි]
149. “මහණෙනි, ලෞකික වශයෙන් මිදුනු සිත් ඇති භික්ෂූහුගේ පිරිහීම පිණිස මේ කරුණු පසක් පවතිත්. කවර පසක්ද යත්:
කර්මාන්තයෙහි ඇළුණු බවය, කථාබස් කිරීමෙහි ඇළුණු බවය, නිද්රාවෙහි ඇළුණු බවය, සමූහයා හා එක්වීමෙහි ඇළුණු බවය, මිදුනු පරිදි සිත නොසැළකීමය යන පසයි.