5. 3. 4. 10.
සොතාරනාග සූත්රය
සැවැත්නුවර නිදානයි
40. මහණෙනි, අඞ්ග පසකින් යුක්තවූ රජුගේ හස්ති තෙම රජුන්ට සුදුසු වේ. රජුන් විසින් පරිභෝග කටයුතු වේ. රජහුගේ අංගයකැයිම සංඛ්යාවට පැමිණේ. කවර පසකින්ද යත්. මහණෙනි, මෙහි රජහුගේ හස්ති තෙම
අසන්නේද වේද, නසන්නේ වේද, රකින්නේ වේද, ඉවසන්නේ වේද, යන්නේ වේද, යන පසිනි.
මහණෙනි, කෙසේ නම් රජහුගේ හස්ති තෙම අසන්නේ වේද? මෙහි රජුගේ හස්ති තෙම ඇතුන් හික්මවන සාරථියා යම් ඒ කටයුත්තක් කරවාද, ඉදින් කළ විරූ දෙයක් හෝ, ඉදින් නොකළ විරූ දෙයක් හෝ, එය කරුණු වශයෙන් සළකා මෙනෙහි කොට සියල්ල සිතින් එකතු කොට බහා තබන ලද කන් ඇත්තේ අසාද, මහණෙනි, මෙසේ වනාහි රජහුගේ හස්ති තෙම අසන්නේ වේ.
මහණෙනි, කෙසේ නම් රජහුගේ හස්ති තෙම නසන්නේ වේද? මහණෙනි, මෙහි රජහුගේ හස්ති තෙම යුද්ධයට පැමිණියේ ඇතුද නසයි. ඇතරුවාද නසයි. අසුද නසයි. අසරුවාද නසයි. රියද නසයි. රියෙහි වූවහුද නසයි. පාබල සෙනගද නසයි. මහණෙනි, මෙසේ වනාහි රජහුගේ හස්ති තෙම නසන්නේ වේ.
මහණෙනි, කෙසේ නම් රජහුගේ හස්ති තෙම රකින්නේ වේද? මහණෙනි, මෙහි රජහුගේ හස්ති තෙම යුද්ධයට පැමිණියේ ඉදිරි කය රකියිද, පැසුළු කය රකියිද, ඉදිරි පා රකියිද, පැසුළු පා රකියිද, හිස රකියිද, කන් රකියිද, දළ රකියිද, සොඬ රකියිද, වලිගය රකියිද, ඇත්රුවා රකියිද, මහණෙනි, මෙසේ වනාහි රජහුගේ හස්ති තෙම රකින්නේ වේ.
මහණෙනි, කෙසේ නම් රජහුගේ හස්ති තෙම ඉවසන්නේ වේද? මහණෙනි, මේ රජහුගේ ඇත් තෙම අඩයටි පහරවල්ද, කඩු පහරවල්ද, ඊ පහරවල්ද, පොරෝ පහරවල්ද, බෙර, පනා බෙර, සක්, සින්නම් නාදයන් ඉවසන්නේ වේද, මහණෙනි, මෙසේ වනාහි රජහුගේ හස්ති තෙම ඉවසන්නේ වේ.
මහණෙනි, කෙසේ නම් රජහුගේ හස්ති තෙම යන්නේ වේද, මහණෙනි, මෙහි රජහුගේ හස්ති තෙම ඇතුන් හික්මවන සාරථියා යම් මේ දිශාවකට යවාද, ඉදින් පෙර ගිය දිශාවකට හෝ, ඉදින් පෙර නොගිය දිශාවකට හෝ, ඒ දිශාවට වහාම යන්නේ වේද, මහණෙනි, මෙසේ වනාහි රජහුගේ හස්ති තෙම යන්නේ වේ.
මහණෙනි, අඞ්ග පසකින් යුක්තවූ රජුගේ හස්ති තෙම රජුන්ට සුදුසු වේ. රජුන් විසින් පරිභෝග කටයුතු වේ. රජහුගේ අංගයකැයිම සංඛ්යාවට පැමිණේ.
මහණෙනි, මෙපරිද්දෙන්ම අඞඟ පසකින් යුක්තවූ භික්ෂු තෙම පූජාවට සුදුසු වෙයි. දුර සිට ගෙනෙන ලද සත්කාරයට සුදුසු වෙයි. දක්ෂිණාවට සුදුසු වෙයි. ඇඳිලි කිරීමට සුදුසු වෙයි. ලෝකයාගේ උතුම් පින් කෙත වෙයි. කවර පසකින්ද යත්?
මෙහි භික්ෂු තෙම අසන්නේද වේද, නසන්නේ වේද, රකින්නේ වේද. ඉවසන්නේ වේද, යන්නේ වේද යන පසිනි.
මහණෙනි, කෙසේ නම් භික්ෂු තෙම අසන්නේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම තථාගතයන් වහන්සේ විසින් දේශනා කරණ ලද ධර්ම විනය දේශනා කරණු ලබන කල්හි අර්ථවත් කොට මෙනෙහි කොට සියල්ල සිතින් රැස්කොට බහා තබන ලද කන් ඇත්තෝ ධර්මය අසාද, මහණෙනි, මෙසේ වනාහි භික්ෂු තෙම අසන්නේ වේ.
මහණෙනි, කෙසේ නම් භික්ෂු තෙම නසන්නේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම උපන්නාවූ කාම විතර්කය නොඉවසාද, දුරු කෙර්ද, බැහැර කෙරේද, කෙළවර කෙරේද, නැවත අභාවයට පමුණුවාද. උපන්නාවූ ව්යාපාද විතර්කය නොඉවසාද, දුරු කෙර්ද, බැහැර කෙරේද, කෙළවර කෙරේද, නැවත අභාවයට පමුණුවාද. උපන්නාවූ විහිංසා විතර්කය නොඉවසාද, දුරු කෙර්ද, බැහැර කෙරේද, කෙළවර කෙරේද, නැවත අභාවයට පමුණුවාද. උපනූපන් ලාමකවූ අකුශල ධර්මයන් නොඉවසාද, දුරු කෙර්ද, බැහැර කෙරේද, කෙළවර කෙරේද, නැවත අභාවයට පමුණුවාද. මහණෙනි, මෙසේ වනාහි භික්ෂු තෙම නසන්නේ වේ.