5. 3. 3. 6.
6. දුතිය අනායුස්ස ධම්ම සූත්‍රය
[සැවැත් නුවර නිදාන යි]
26. “මහණෙනි, ආයුෂට හිත නොවූ මේ කරුණු පසක් වෙත්. කවර පසක්ද යත්?
අහිතවූ කටයුතු ඇත්තේ වේද, හිතවූ කටයුත්තෙහි පමණ නොදනීද, නොපැසවූ කල්හි වැළඳීම ඇත්තේ වේද, දුශ්ශීල වේද, පවිටු මිතුරන් ඇත්තේ වේද. මහණෙනි, ආයුෂට හිත නොවූ මේ කරුණු පස වෙත්.
“මහණෙනි, ආයුෂට හිතවූ මේ කරුණු පසක් වෙත්. කවර පසක්ද යත්?
හිතවූ කටයුතු ඇත්තේ වේද, හිතවූ කටයුත්තෙහි පමණ දනීද, ආහාරය පැසවූ කල්හි වැළඳීම ඇත්තේ වේද, සිල්වත් වේද, යහපත් මිතුරන් ඇත්තේ වේද. මහණෙනි, ආයුෂට හිතවූ මේ කරුණු පස වෙත්.
5. 3. 3. 7.
7. සංඝපකාසන සූත්‍රය
[සැවැත් නුවර නිදාන යි]
27. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම සංඝයාගෙන් වෙන්ව, තනිව වාසය කරන්ට සුදුසු නොවේ. කවර පසකින්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ලැබුනු පරිදි සිවුරෙන් සතුටුවූයේ නොවේද, ලැබුනු පරිදි පිණ්ඩපාතයෙන් සතුටුවූයේ නොවේද, ලැබුනු පරිදි ශයනාසනයෙන් සතුටුවූයේ නොවේද, ලැබුනු පරිදි ගිලන්පස බෙහෙත් පිරිකරෙන් සතුටුවූයේ නොවේද, කාමය පිළිබඳ සංකල්පනා බහුලකොට ඇත්තේ වාසය කෙරේද.
“මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ භික්‍ෂු තෙම සංඝයාගෙන් වෙන්ව, තනිව වාසය කරන්ට සුදුසු නොවේ.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම සංඝයාගෙන් වෙන්ව, තනිව වාසය කරන්ට සුදුසුය. කවර පසකින්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ලැබුණු පරිදි සිවුරෙන් සතුටුවූයේද, ලැබුනු පරිදි පිණ්ඩපාතයෙන් සතුටුවූයේ වේද, ලැබුනු පරිදි ශයනාසනයෙන් සතුටුවූයේ වේද, ලැබුනු පරිදි ගිලන්පස බෙහෙත් පිරිකරෙන් සතුටුවූයේ වේද, නෛෂ්කාම්‍ය සංකල්පනා බහුලකොට ඇත්තේ වාසය කෙරේද.
“මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ භික්‍ෂු තෙම සංඝයාගෙන් වෙන්ව, තනිව වාසය කරන්ට සුදුසුය.
5. 3. 3. 8.
8. සමණ දුක්ඛ සූත්‍රය
[සැවැත් නුවර නිදාන යි]
28. “මහණෙනි, මේ ශ්‍රමණයන්ගේ දුක් පසක් වෙත්. කවර පසක්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ලැබුණු පරිදි සිවුරෙන් නොතුටුවූයේද, ලැබුනු පරිදි පිණ්ඩපාතයෙන් නොසතුටුවූයේ වේද, ලැබුනු පරිදි ශයනාසනයෙන් නොසතුටුවූයේ වේද, ලැබුනු පරිදි ගිලන්පස බෙහෙත් පිරිකරෙන් නොසතුටුවූයේ වේද, නොඇලුනේ බ්‍රහ්මචර්‍ය්‍යයේ හැසිරේද. මහණෙනි, මේ පස ශ්‍රමණයන්ගේ දුක් වෙත්.
“මහණෙනි, මේ ශ්‍රමණයන්ගේ සැප පසක් වෙත්. කවර පසක්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ලැබුණු පරිදි සිවුරෙන් සතුටුවූයේ වේද, ලැබුනු පරිදි පිණ්ඩපාතයෙන් සතුටුවූයේ වේද, ලැබුනු පරිදි ශයනාසනයෙන් සතුටුවූයේ වේද, ලැබුනු පරිදි ගිලන්පස බෙහෙත් පිරිකරෙන් සතුටුවූයේ වේද, ඇලුනේ බ්‍රහ්මචර්‍ය්‍යයේ හැසිරේද. මහණෙනි, මේ පස ශ්‍රමණයන්ගේ සැප වෙත්.