5. 3. 3. 7.
7. සංඝපකාසන සූත්‍රය
[සැවැත් නුවර නිදාන යි]
27. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම සංඝයාගෙන් වෙන්ව, තනිව වාසය කරන්ට සුදුසු නොවේ. කවර පසකින්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ලැබුනු පරිදි සිවුරෙන් සතුටුවූයේ නොවේද, ලැබුනු පරිදි පිණ්ඩපාතයෙන් සතුටුවූයේ නොවේද, ලැබුනු පරිදි ශයනාසනයෙන් සතුටුවූයේ නොවේද, ලැබුනු පරිදි ගිලන්පස බෙහෙත් පිරිකරෙන් සතුටුවූයේ නොවේද, කාමය පිළිබඳ සංකල්පනා බහුලකොට ඇත්තේ වාසය කෙරේද.
“මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ භික්‍ෂු තෙම සංඝයාගෙන් වෙන්ව, තනිව වාසය කරන්ට සුදුසු නොවේ.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම සංඝයාගෙන් වෙන්ව, තනිව වාසය කරන්ට සුදුසුය. කවර පසකින්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ලැබුණු පරිදි සිවුරෙන් සතුටුවූයේද, ලැබුනු පරිදි පිණ්ඩපාතයෙන් සතුටුවූයේ වේද, ලැබුනු පරිදි ශයනාසනයෙන් සතුටුවූයේ වේද, ලැබුනු පරිදි ගිලන්පස බෙහෙත් පිරිකරෙන් සතුටුවූයේ වේද, නෛෂ්කාම්‍ය සංකල්පනා බහුලකොට ඇත්තේ වාසය කෙරේද.
“මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ භික්‍ෂු තෙම සංඝයාගෙන් වෙන්ව, තනිව වාසය කරන්ට සුදුසුය.
5. 3. 3. 8.
8. සමණ දුක්ඛ සූත්‍රය
[සැවැත් නුවර නිදාන යි]
28. “මහණෙනි, මේ ශ්‍රමණයන්ගේ දුක් පසක් වෙත්. කවර පසක්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ලැබුණු පරිදි සිවුරෙන් නොතුටුවූයේද, ලැබුනු පරිදි පිණ්ඩපාතයෙන් නොසතුටුවූයේ වේද, ලැබුනු පරිදි ශයනාසනයෙන් නොසතුටුවූයේ වේද, ලැබුනු පරිදි ගිලන්පස බෙහෙත් පිරිකරෙන් නොසතුටුවූයේ වේද, නොඇලුනේ බ්‍රහ්මචර්‍ය්‍යයේ හැසිරේද. මහණෙනි, මේ පස ශ්‍රමණයන්ගේ දුක් වෙත්.
“මහණෙනි, මේ ශ්‍රමණයන්ගේ සැප පසක් වෙත්. කවර පසක්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ලැබුණු පරිදි සිවුරෙන් සතුටුවූයේ වේද, ලැබුනු පරිදි පිණ්ඩපාතයෙන් සතුටුවූයේ වේද, ලැබුනු පරිදි ශයනාසනයෙන් සතුටුවූයේ වේද, ලැබුනු පරිදි ගිලන්පස බෙහෙත් පිරිකරෙන් සතුටුවූයේ වේද, ඇලුනේ බ්‍රහ්මචර්‍ය්‍යයේ හැසිරේද. මහණෙනි, මේ පස ශ්‍රමණයන්ගේ සැප වෙත්.
5. 3. 3. 9.
9. පරිකුප්ප සූත්‍රය
[සැවැත් නුවර නිදාන යි]
29. “මහණෙනි, අපායට යන්නාවූ, නිරයට පැමිණෙන්නාවූ, කිපෙන ස්වභාව ඇත්තාවූ, පිළියම් නොකට හැක්කාවූ මේ පස් දෙනෙක් වෙත්. කවර පස් දෙනෙක්ද යත්?
මව දිවියෙන් තොර කරණ ලද්දේ වේද, පියා දිවියෙන් තොර කරණ ලද්දේ වේද, රහතන් වහන්සේ දිවියෙන් තොර කරණ ලද්දේ වේද, දුෂ්ටවූ සිතින් තථාගකයන් වහන්සේගේ ලේ උපදවන ලද්දේ වේද, සංඝ තෙම භේද කරණ ලද්දේ වේද.
“මහණෙනි, අපායට යන්නාවූ, නිරයට පැමිණෙන්නාවූ, කිපෙන ස්වභාව ඇත්තාවූ, පිළියම් නොකට හැක්කාවූ මේ පස් දෙනෙක් වෙත්.
5. 3. 3. 10.
10. පඤ්ච ව්‍යසන සූත්‍රය
[සැවැත් නුවර නිදාන යි]
30. “මහණෙනි, මේ විපත් පසක් වෙත්. කවර පසක්ද යත්?
නෑයන් පිළිබඳ විපතය, සම්පත් පිළිබඳ විපතය, රෝග පිළිබඳ විපතය, ශීලය පිළිබඳ විපතය, දෘෂ්ටිය පිළිබඳ විපතය.
මහණෙනි, සත්ත්‍වයෝ නෑයන් පිළිබඳ විපතය හේතුකොට ගෙණ හෝ සම්පත් පිළිබඳ විපතය හේතුකොට ගෙන හෝ රෝග පිළිබඳ විපතය හේතුකොට ගෙන හෝ, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ, දුකට පිහිටවූ, විවසව පතිත වන්නාවූ, නරකයෙහි නූපදිත්.
“මහණෙනි, සත්ත්‍වයෝ ශීලය පිළිබඳ විපත හේතුකොට ගෙන හෝ දෘෂ්ටිය පිළිබඳ විපත හේතුකොට ගෙන හෝ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ, දුකට පිහිටවූ, විවසව පතිත වන්නාවූ, නරකයෙහි උපදිත්.
මහණෙනි, මොහු වනාහි විපත් පස වෙත්.
“මහණෙනි, මේ සම්පත් පසක් වෙත්. කවර පසක්ද යත්?
ඥාති සම්පත්තිය, භොග සම්පත්තිය, ආරෝග්‍ය සම්පත්තිය, ශීල සම්පත්තිය, දෘෂ්ටි සම්පත්තිය.
මහණෙනි, සත්ත්‍වයෝ ඤාති සම්පත්තිය හේතුකොට ගෙණ හෝ, භෝග සම්පත්තිය හේතුකොට ගෙණ හෝ, ආරෝග්‍ය සම්පත්තිය හේතුකොට ගෙණ හෝ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති, පස්කම් සැපයෙන් අග්‍රවූ දිව්‍ය ලෝකයෙහි නූපදිත්.
“මහණෙනි, සත්ත්‍වයෝ ශීල සම්පත්තිය හේතුකොට ගෙන හෝ, දෘෂ්ටි සම්පත්තිය හේතුකොට ගෙණ හෝ, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති, පස්කම් සැපයෙන් අග්‍රවූ දිව්‍ය ලෝකයෙහි උපදිත්.
මහණෙනි, මොහු වනාහි සම්පත් පස වෙත්” යයි වදාළ සේක.
දහතුන් වැනි ගිලාන වර්‍ගය නිමි.
එහි උද්දානය:
ගිලාන, සතිපට්ඨාන, උපට්ඨාක දෙක ය, ආයුස්ස දෙක ය, වපකාස, සමණසුඛ, පරිකුප්ප සහ සම්පදා දැ යි දසයකි.