5. 3. 3. 2.
2. අජ්ජධත්ත සති සූත්‍රය
[සැවැත් නුවර නිදාන යි]
22. “මහණෙනි, යම්කිසි භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ කරුණු පසක් වඩාද, කරුණු පසක් බහුලව කෙරේද, ඔහුට ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයක් කැමතිවිය යුතුයි. මේ ආත්මයෙහිම රහත් බව හෝ, උපාදානයන්ගේ ශෙෂවීම ඇති කල්හි අනාගාමී බව හෝ යනුයි. කවර පසක්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂූහුගේ ධර්‍මයන්ගේ ඇතිවීම නැතිවීම පිණිස පවත්නා ප්‍රඥාව පිණිසවූ සිහිය තමන් කෙරෙහිම එළඹ සිටියා වේද, කයෙහි අසුබ අරමුණු අනුව බලමින් වාසය කෙරේද, ආහාරයෙහි පිළිකුල් සංඥා ඇත්තේ වේද, සියලු ලෝකයෙහි නොඇලුනු සංඥා ඇත්තේ වේද, සියලු සංස්කාරයන්හි අනිත්‍යය අනුව බලමින් වාසය කෙරේද.
“මහණෙනි, යම්කිසි භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ මේ කරුණු පස වඩාද, මේ කරුණු පස බහුලව කෙරේද, ඔහුට ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයක් කැමතිවිය යුතුයි: මේ ආත්මයෙහිම රහත් බව හෝ, උපාදානයන්ගේ ශෙෂවීම ඇති කල්හි අනාගාමී බව හෝ යනුයි.
5. 3. 3. 3.
3. දුරුපට්ඨිය ගිලාන සූත්‍රය
[සැවැත් නුවර නිදාන යි]
23. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ගිලාන තෙම උපස්ථාන කරන්ට නොහැකිවේ. කවර පසකින්ද යත්?
අහිතවූ කටයුතු කරන්නේ වේද, හිතවූ කටයුත්තෙහි පමණ නොදනීද, බෙහෙත් ප්‍රතිශෙවනය කරන්නේ නොවේද, වැඩ කැමතිවූ ගිලන් උපස්ථායකයාට තත්වූ පරිදි ආබාධය ප්‍රකාශ කරන්නේ නොවේද: ඉදිරියට ගමන් කරන්නාවූ හෝ ආබාධය ඉදිරියට ගමන් කෙරේයයි, පසුබස්නාවූ හෝ ආබාධය හෝ පසුබසීයයි, සිටියාවූ හෝ ආබාධය සිටියේයයිද කියායි. උපන්නාවූ හෝ ශරීරයෙහි හටගත්තාවූ දුක්වූ, තියුණුවූ, රළුවූ, කටුකවූ, නොසැපවූ, අමනාපවූ, ප්‍රාණය හැර ගන්නාවූ, වේදනාවන් නොඉවසන ස්වභාව ඇත්තේ වේද.
“මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ගිලාන තෙම උපස්ථාන කරන්ට නොහැකිවේ.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ගිලාන තෙම උපස්ථාන කිරීමට පහසු වේ. කවර පසකින්ද යත්?
හිතවූ කටයුතු කරන්නේ වේද, හිතවූ කටයුත්තෙහි පමණ දනීද, බෙහෙත් සෙවනය කරන්නේද, වැඩ කැමතිවූ ගිලානොපස්ථායකයාට තත්වූ පරිදි ආබාධය ප්‍රකාශ කරන්නේ වේද: ඉදිරියට ගමන් කරන්නාවූ හෝ ආබාධය ඉදිරියට ගමන් කෙරේයයිද, පසුබස්නාවූ හෝ ආබාධය හෝ පසුබසීයයිද, සිටියාවූ හෝ ආබාධය සිටියේයයිද කියායි. උපන්නාවූ හෝ ශරීරයෙහි හටගත්තාවූ දුක්වූ, තියුණුවූ, රළුවූ, කටුකවූ, නොසැපවූ, අමනාපවූ, ප්‍රාණය හැර ගන්නාවූ, වේදනාවන් ඉවසන ස්වභාව ඇත්තේ වේද.
“මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ගිලාන තෙම උපස්ථාන කිරීමට පහසු වේ.
5. 3. 3. 4.
4. ගිලානුපඨාන සූත්‍රය
[සැවැත් නුවර නිදාන යි]
24. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ගිලානොපස්ථායක තෙම ගිලනාට උපස්ථාන කරන්ට සුදුසු නොවේ. කවර පසකින්ද යත්?
බෙහෙත් නියම කරන්ට ශක්ති ඇත්තේ නොවේද, හිතවූ දෙය අහිතවූ දෙය නොදනීද, අහිතවූ දෙය එලවාද, හිතවූ දෙය බැහැර කෙරේද, ආමිෂය බලාපොරොත්තු වන්නේ ගිලනාට උපස්ථාන කෙරේද, මෛත්‍රී සිත් ඇත්තේ නොකෙරේද, මළ හෝ, මූත්‍රා හෝ, වමණය හෝ, කෙළ හෝ, බැහැර කරන්ට පිළිකුල් ඇත්තේ වේද, ගිලනා කලින් කල දැහැමි කථාවෙන් කරුණු දක්වන්ට, සමාදන් කරවන්ට, තෙද ගන්වන්ට, සතුටු කරවන්ට ශක්තිය ඇත්තේ නොවේද.
“මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ගිලානොපස්ථායක තෙම ගිලනාට උපස්ථාන කරන්ට සුදුසු නොවේ.