5. 3. 3. 3.
3. දුරුපට්ඨිය ගිලාන සූත්‍රය
[සැවැත් නුවර නිදාන යි]
23. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ගිලාන තෙම උපස්ථාන කරන්ට නොහැකිවේ. කවර පසකින්ද යත්?
අහිතවූ කටයුතු කරන්නේ වේද, හිතවූ කටයුත්තෙහි පමණ නොදනීද, බෙහෙත් ප්‍රතිශෙවනය කරන්නේ නොවේද, වැඩ කැමතිවූ ගිලන් උපස්ථායකයාට තත්වූ පරිදි ආබාධය ප්‍රකාශ කරන්නේ නොවේද: ඉදිරියට ගමන් කරන්නාවූ හෝ ආබාධය ඉදිරියට ගමන් කෙරේයයි, පසුබස්නාවූ හෝ ආබාධය හෝ පසුබසීයයි, සිටියාවූ හෝ ආබාධය සිටියේයයිද කියායි. උපන්නාවූ හෝ ශරීරයෙහි හටගත්තාවූ දුක්වූ, තියුණුවූ, රළුවූ, කටුකවූ, නොසැපවූ, අමනාපවූ, ප්‍රාණය හැර ගන්නාවූ, වේදනාවන් නොඉවසන ස්වභාව ඇත්තේ වේද.
“මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ගිලාන තෙම උපස්ථාන කරන්ට නොහැකිවේ.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ගිලාන තෙම උපස්ථාන කිරීමට පහසු වේ. කවර පසකින්ද යත්?
හිතවූ කටයුතු කරන්නේ වේද, හිතවූ කටයුත්තෙහි පමණ දනීද, බෙහෙත් සෙවනය කරන්නේද, වැඩ කැමතිවූ ගිලානොපස්ථායකයාට තත්වූ පරිදි ආබාධය ප්‍රකාශ කරන්නේ වේද: ඉදිරියට ගමන් කරන්නාවූ හෝ ආබාධය ඉදිරියට ගමන් කෙරේයයිද, පසුබස්නාවූ හෝ ආබාධය හෝ පසුබසීයයිද, සිටියාවූ හෝ ආබාධය සිටියේයයිද කියායි. උපන්නාවූ හෝ ශරීරයෙහි හටගත්තාවූ දුක්වූ, තියුණුවූ, රළුවූ, කටුකවූ, නොසැපවූ, අමනාපවූ, ප්‍රාණය හැර ගන්නාවූ, වේදනාවන් ඉවසන ස්වභාව ඇත්තේ වේද.
“මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ගිලාන තෙම උපස්ථාන කිරීමට පහසු වේ.
5. 3. 3. 4.
4. ගිලානුපඨාන සූත්‍රය
[සැවැත් නුවර නිදාන යි]
24. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ගිලානොපස්ථායක තෙම ගිලනාට උපස්ථාන කරන්ට සුදුසු නොවේ. කවර පසකින්ද යත්?
බෙහෙත් නියම කරන්ට ශක්ති ඇත්තේ නොවේද, හිතවූ දෙය අහිතවූ දෙය නොදනීද, අහිතවූ දෙය එලවාද, හිතවූ දෙය බැහැර කෙරේද, ආමිෂය බලාපොරොත්තු වන්නේ ගිලනාට උපස්ථාන කෙරේද, මෛත්‍රී සිත් ඇත්තේ නොකෙරේද, මළ හෝ, මූත්‍රා හෝ, වමණය හෝ, කෙළ හෝ, බැහැර කරන්ට පිළිකුල් ඇත්තේ වේද, ගිලනා කලින් කල දැහැමි කථාවෙන් කරුණු දක්වන්ට, සමාදන් කරවන්ට, තෙද ගන්වන්ට, සතුටු කරවන්ට ශක්තිය ඇත්තේ නොවේද.
“මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ගිලානොපස්ථායක තෙම ගිලනාට උපස්ථාන කරන්ට සුදුසු නොවේ.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ගිලානොපස්ථායක තෙම ගිලනාට උපස්ථාන කරන්ට සුදුසු වේ. කවර පසකින්ද යත්?
බෙහෙත් නියම කරන්ට ශක්ති ඇත්තේ වේද, හිතවූ දෙය අහිතවූ දෙය දනීද, අහිතවූ දෙය බැහැර කෙරේද, හිතවූ දෙය එළවාද, මෛත්‍රී සිත් ඇත්තේ ගිලනාට උපස්ථාන කෙරේද, ආමිෂය බලාපොරොත්තුව නොකෙරේද, මළ හෝ, මූත්‍රා හෝ, වමණය හෝ, කෙළ හෝ, බැහැර කරන්ට පිළිකුල් ඇත්තේ වේද, කලින් කල ගිලනා දැහැමි කථාවෙන් කරුණු දක්වන්ට, සමාදන් කරවන්ට, තෙද ගන්වන්ට, සතුටු කරන්ට සමර්ත්‍ථ වේද.
“මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ගිලානොපස්ථායක තෙම ගිලනාට උපස්ථාන කරන්ට සුදුසු වේ.
5. 3. 3. 5.
5. පඨම අනායුස්ස ධම්ම සූත්‍රය
[සැවැත් නුවර නිදාන යි]
25. “මහණෙනි, ආයුෂට හිත නොවූ මේ කරුණු පසක් වෙත්. කවර පසක්ද යත්?
අහිතවූ කටයුතු කරන්නේ වේද, හිතවූ කටයුත්තෙහි පමණ නොදනීද, නොපැසවූ කල්හි භොජන ඇත්තේ වේද, නොකල්හි හැසිරීම ඇත්තේ වේද, බඹසර නැත්තේ වේද. මහණෙනි, ආයුෂට හිත නොවූ මේ කරුණු පස වෙත්.
“මහණෙනි, ආයුෂට හිතවූ මේ කරුණු පසක් වෙත්. කවර පසක්ද යත්?
හිතවූ කටයුතු කරන්නේ වේද, හිතවූ කටයුත්තෙහි පමණ දනීද, මුහුකුරා ගියාවූ භොග ඇත්තේ වේද, සුදුසු කල්හි හැසිරීම ඇත්තේ වේද, බ්‍රහ්මචර්‍ය්‍යාව ඇත්තේ වේද. මහණෙනි, ආයුෂට හිතවූ මේ කරුණු පස වෙත්.
5. 3. 3. 6.
6. දුතිය අනායුස්ස ධම්ම සූත්‍රය
[සැවැත් නුවර නිදාන යි]
26. “මහණෙනි, ආයුෂට හිත නොවූ මේ කරුණු පසක් වෙත්. කවර පසක්ද යත්?
අහිතවූ කටයුතු ඇත්තේ වේද, හිතවූ කටයුත්තෙහි පමණ නොදනීද, නොපැසවූ කල්හි වැළඳීම ඇත්තේ වේද, දුශ්ශීල වේද, පවිටු මිතුරන් ඇත්තේ වේද. මහණෙනි, ආයුෂට හිත නොවූ මේ කරුණු පස වෙත්.
“මහණෙනි, ආයුෂට හිතවූ මේ කරුණු පසක් වෙත්. කවර පසක්ද යත්?
හිතවූ කටයුතු ඇත්තේ වේද, හිතවූ කටයුත්තෙහි පමණ දනීද, ආහාරය පැසවූ කල්හි වැළඳීම ඇත්තේ වේද, සිල්වත් වේද, යහපත් මිතුරන් ඇත්තේ වේද. මහණෙනි, ආයුෂට හිතවූ මේ කරුණු පස වෙත්.