5. 3. 1. 2.
2. උස්සංකිත සූත්‍රය
[සාවත්ථියෙහි නිදානයි]
2. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්ෂු තෙම ක්ෂීණාශ්රව වූයේද, ලාමක භික්ෂු උසස්යයි සැක කරණ ලද්දේ හාත්පස සැක කරණ ලද්දේ වේ. කවර පසකින්ද යත්:
“මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම වෛශ්‍යාවන් හුන් තැන් ගොදුරුකොට ඇත්තේ වේද, වැන්දඹු ස්ත්‍රීන් හුන් තැන් ගොදුරුකොට ඇත්තේ වේද, මහළු කුමරියන් හුන් තැන් ගොදුරුකොට ඇත්තේ හෝ වේද, නපුංසකයන් වසන තැන් ගොදුරුකොට ඇත්තේ හෝ වේද, භික්ෂුණීන් වසන තැන් ගොදුරුකොට ඇත්තේ හෝ වේද, යන පසිනි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්ෂු තෙම ක්ෂීණාශ්රව වූයේද, ලාමක භික්ෂු උසස්යයි සැක කරණ ලද්දේ හාත්පස සැක කරණ ලද්දේ වේ. කවර පසකින්ද යත්:
5. 3. 1. 3.
3. මහාචොර සූත්‍රය
[සාවත්ථියෙහි නිදානයි]
3. “මහණෙනි, අඞ්ග පසකින් යුක්ත වූ මහ සොරතෙම උමංද සිඳියි. පැහැරීමද කරයි. එක් ගෙයක් පැහැර ගැනීමද කරයි. උවදුරු මං පැහැරීමෙහිද සිටියි. කවර පසකින්ද යත්:
“මහණෙනි, මේ ලෝකයෙහි මහ සොරතෙම විසම ස්ථාන ඇසුරු කෙළේද, සැඟවෙන තැන් ඇසුරු කෙළේද, බලවතුන් ඇසුරු කෙළේද, සම්පත් දෙන්නේද, එකළාව හැසිරෙන්නේද වේ.
“මහණෙනි, කෙසේනම් මහ සොරතෙම විෂම තැන් ඇසුරු කෙළේ වේද: මහණෙනි, මේ ලෝකයෙහි මහ සොරතෙම ගං හෝ වලින් යා නොහැකි තැන හෝ පර්වතයෙන් විෂම වන තැන හෝ ඇසුරු කෙළේ වේද, මහණෙනි, මෙසේ වනාහි මහ සොරතෙම විෂම තැන් ඇසුරු කෙළේ වේ.
“මහණෙනි, කෙසේනම් මහ සොරතෙම ගහණයන් ඇසුරු කෙළේ වේද: මහණෙනි, මේ ලෝකයෙහි මහ සොරතෙම තණකොළ ලැහැබක්, ගස් ලැහැබක් හෝ ගැඹුරු වූ වන ලැහැබක් හෝ ඇසුරු කෙළේ වේද, මහණෙනි, මෙසේ වනාහි මහ සොරතෙම සැඟවෙන තැන් ඇසුරු කෙළේ වේ.
මහණෙනි, මහ සොරා බලවතුන් ඇසුරු කළේ කෙසේ වේද යත්: මහණෙනි, මේ ලෝකයෙහි මහ සොරා රජවරුන් හෝ රජ මහ ඇමතිවරුන් හෝ ඇසුරු කළේ වෙයි. ඔහුට මෙබඳු සිතක් වෙයි: ‘ඉදින් මට කිසිවෙක් කිසිවක් කියන්නේ නම්, මේ රජවරු හෝ රජ මහ ඇමතිවරු හෝ මාගේ දෝෂය වසාගෙන මට වාසිදායක දේ කියන්නාහුය’යි. ඉදින් ඔහුට කිසිවෙක් කිසිවක් කීයේ නම්, ඒ රජවරු හෝ රජ මහ ඇමතිවරු හෝ ඔහුගේ දෝෂය වසාගෙන ඔහුට වාසිදායක දේ කියති. මහණෙනි, මහ සොරා බලවතුන් ඇසුරු කළේ මෙසේ ය.
“මහණෙනි, කෙසේනම් මහ සොරතෙම සම්පත් දෙන්නේ වේද: මහණෙනි, මේ ලෝකයෙහි මහ සොරතෙම ආඪ්‍යවූයේ, මහත් ධනය ඇත්තේ, මහත් සම්පත් ඇත්තේ වේද, ඔහුට මෙබඳු සිතක් වෙයි. "ඉදින් මට කිසිවෙක් කිසිවක් කියන්නේ නම් මේ සම්පත්වලින් පිළිසඳර කරන්නෙමි'යි. ඉදින් ඔහුට කිසිවෙක් කිසිවක් කීයේ නම්, සම්පත් දීමෙන් පිළිසඳර කරයි. මහණෙනි, මෙසේ වනාහි මහ සොරතෙම සම්පත් දෙන්නේ වේ.
“මහණෙනි, කෙසේනම් මහ සොරතෙම එකලාව හැසිරෙන්නේ වේද: මහණෙනි, මේ ලෝකයෙහි මහ සොරතෙම හුදකලාව අනුන් සතු බඩු ගැණීම් කරන්නේ වෙයි. ඊට හේතු කවරේද? ‘මාගේ රහස් මන්ත්‍රණයෝ පිටත්හි සම්භෙදයට නොපැමිණෙත්වා’යි. මහණෙනි, මෙසේ වනාහි මහ සොරතෙම එකළාව හැසිරෙන්නේ වේ.
“මහණෙනි, මේ අඞ්ග පසෙන් යුක්ත වූ මහ සොරතෙම උමංද සිඳියි. පැහැරීමද කරයි. එක් ගෙයක් පැහැර ගැනීමද කරයි. උවදුරු මං පැහැරීමෙහිද සිටියි.