5. 3. 1. 3.
3. මහාචොර සූත්‍රය
[සාවත්ථියෙහි නිදානයි]
103. “මහණෙනි, අඞ්ග පසකින් යුක්ත වූ මහ සොරතෙම උමංද සිඳියි. පැහැරීමද කරයි. එක් ගෙයක් පැහැර ගැනීමද කරයි. උවදුරු මං පැහැරීමෙහිද සිටියි. කවර පසකින්ද යත්:
“මහණෙනි, මේ ලෝකයෙහි මහ සොරතෙම විසම ස්ථාන ඇසුරු කෙළේද, සැඟවෙන තැන් ඇසුරු කෙළේද, බලවතුන් ඇසුරු කෙළේද, සම්පත් දෙන්නේද, එකළාව හැසිරෙන්නේද වේ.
“මහණෙනි, කෙසේනම් මහ සොරතෙම විෂම තැන් ඇසුරු කෙළේ වේද: මහණෙනි, මේ ලෝකයෙහි මහ සොරතෙම ගං හෝ වලින් යා නොහැකි තැන හෝ පර්වතයෙන් විෂම වන තැන හෝ ඇසුරු කෙළේ වේද, මහණෙනි, මෙසේ වනාහි මහ සොරතෙම විෂම තැන් ඇසුරු කෙළේ වේ.
“මහණෙනි, කෙසේනම් මහ සොරතෙම ගහණයන් ඇසුරු කෙළේ වේද: මහණෙනි, මේ ලෝකයෙහි මහ සොරතෙම තණකොළ ලැහැබක්, ගස් ලැහැබක් හෝ ගැඹුරු වූ වන ලැහැබක් හෝ ඇසුරු කෙළේ වේද, මහණෙනි, මෙසේ වනාහි මහ සොරතෙම සැඟවෙන තැන් ඇසුරු කෙළේ වේ.
“මහණෙනි, කෙසේනම් මහ සොරතෙම බලවතුන් ඇසුරු කෙළේ වේද: මහණෙනි, මේ ලෝකයෙහි මහ සොරතෙම රජහු හෝ, රජ මහ ඇමැතියකු හෝ ඇසුරු කෙළේ වේද, ඔහුට මෙබඳු සිතක් වෙයි. “ඉදින් මට කිසිවෙක් කිසිවක් කියන්නේ නම්, මේ රජහු හෝ රජ මහඇමතිවරු හෝ මාගේ දෝෂය වසාගෙන අර්ත්‍ථය කියන්නාහුය’යි. ඉදින් ඔහුට කිසිවෙක් කිසිවක් කීයේ නම්, ඒ රජහු හෝ රජ මහඇමතිවරු හෝ ඔහුගේ දෝෂය වසාගෙන අර්ත්‍ථය කියත්. මහණෙනි, මෙසේ වනාහි මහ සොරතෙම බලවතුන් ඇසුරු කෙළේ වේ.
“මහණෙනි, කෙසේනම් මහ සොරතෙම සම්පත් දෙන්නේ වේද: මහණෙනි, මේ ලෝකයෙහි මහ සොරතෙම ආඪ්‍යවූයේ, මහත් ධනය ඇත්තේ, මහත් සම්පත් ඇත්තේ වේද, ඔහුට මෙබඳු සිතක් වෙයි. "ඉදින් මට කිසිවෙක් කිසිවක් කියන්නේ නම් මේ සම්පත්වලින් පිළිසඳර කරන්නෙමි'යි. ඉදින් ඔහුට කිසිවෙක් කිසිවක් කීයේ නම්, සම්පත් දීමෙන් පිළිසඳර කරයි. මහණෙනි, මෙසේ වනාහි මහ සොරතෙම සම්පත් දෙන්නේ වේ.
“මහණෙනි, කෙසේනම් මහ සොරතෙම එකලාව හැසිරෙන්නේ වේද: මහණෙනි, මේ ලෝකයෙහි මහ සොරතෙම හුදකලාව අනුන් සතු බඩු ගැණීම් කරන්නේ වෙයි. ඊට හේතු කවරේද? ‘මාගේ රහස් මන්ත්‍රණයෝ පිටත්හි සම්භෙදයට නොපැමිණෙත්වා’යි. මහණෙනි, මෙසේ වනාහි මහ සොරතෙම එකළාව හැසිරෙන්නේ වේ.
“මහණෙනි, මේ අඞ්ග පසෙන් යුක්ත වූ මහ සොරතෙම උමංද සිඳියි. පැහැරීමද කරයි. එක් ගෙයක් පැහැර ගැනීමද කරයි. උවදුරු මං පැහැරීමෙහිද සිටියි.
“මහණෙනි, මෙපරිද්දෙන්ම කරුණු පසකින් යුක්ත වූ පවිටු භික්‍ෂු තෙම සාරා දමන ලද ගුණ ඇති, නසන ලද ආත්මය පරිහරණය කරයි. වරද සහිත වූයේද, නුවණැත්තන්ගේ උපවාද සහිත වූයේද වෙයි. බොහෝ වූ පව්ද රැස් කරයි. කවර පසකින්ද යත්:
“මහණෙනි, මේ ශාසනයෙහි පවිටු භික්‍ෂු තෙම විසම ස්ථාන ඇසුරු කෙළේද, සැඟවෙන තැන් ඇසුරු කෙළේද, බලවතුන් ඇසුරු කෙළේද, සම්පත් දෙන්නේද, එකළාව හැසිරෙන්නේද වේ.
“මහණෙනි, කෙසේ නම් පවිටු භික්‍ෂු තෙම විෂම තැන් ඇසුරු කෙළේ වේද: මහණෙනි, මේ ශාසනයෙහි පවිටු භික්‍ෂු තෙම විෂම වූ කාය කර්‍මයෙන් යුක්ත වූයේ වේද, විෂම වූ වාක් කර්‍මයෙන් යුක්ත වූයේ වේද, විෂම වූ මනෝ කර්‍මයෙන් යුක්ත වූයේ වේද, මහණෙනි, මෙසේ වනාහි පවිටු භික්‍ෂු තෙම විෂම තැන් ඇසුරු කෙළේ වේ.
“මහණෙනි, කෙසේ නම් පවිටු භික්‍ෂු තෙම සැඟවෙන තැන් ඇසුරු කෙළේ වේද: මහණෙනි, මේ ශාසනයෙහි පවිටු භික්‍ෂු තෙම මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වේද, දෙකෙළවර ගැනීම ඇති දෘෂ්ටියෙන් යුක්ත වූයේ වේද, මහණෙනි, මෙසේ වනාහි පවිටු භික්‍ෂු තෙම ගහණයන් ඇසුරු කෙළේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් පවිටු භික්‍ෂු තෙම බලවතුන් ඇසුරු කෙළේ වේද: මහණෙනි, මේ ශාසනයෙහි පවිටු භික්‍ෂු තෙම රජහු හෝ රජ මහඇමැතියකු හෝ ඇසුරු කෙළේ වේද, ඔහුට මෙබඳු සිතක් වෙයි. “ඉදින් මට කිසිවෙක් කිසිවක් කියන්නේ නම්, මේ රජහු හෝ රජ මහඇමතිවරු හෝ මාගේ දෝෂය වසාගෙන අර්ත්‍ථය කියන්නාහුය’යි. ඉදින් ඔහුට කිසිවෙක් කිසිවක් කීයේ නම්, ඒ රජහු හෝ රජ මහඇමතිවරු හෝ ඔහුගේ දෝෂය වසාගෙන අර්ත්‍ථය කියත්. මහණෙනි, මෙසේ වනාහි පවිටු භික්‍ෂු තෙම බලවතුන් ඇසුරු කෙළේ වේ.
“මහණෙනි, කෙසේ නම් පවිටු භික්‍ෂු තෙම සම්පත් දෙන්නේ වේද: මහණෙනි, මේ ශාසනයෙහි පවිටු භික්‍ෂු තෙම චීවර, පිණ්ඩපාතය, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර යන මොවුන්ගේ ලැබීම ඇත්තේ වේද, ඔහුට මෙබඳු සිතක් වේ. ‘ඉදින් මට කිසිවෙක් කිසිවක් කියන්නේ නම් මේ ලාභයෙන් පිළිසඳර කරන්නෙමි’යි. ඉදින් ඔහුට කිසිවෙක් කිසිවක් කීයේ නම් එම ලාභයෙන් පිළිසඳර කරයි. මහණෙනි, මෙසේ වනාහි පවිටු භික්‍ෂු තෙම සම්පත් දෙන්නේ වේ.
“මහණෙනි, කෙසේ නම් පවිටු භික්‍ෂු තෙම එකලාව හැසිරෙන්නේ වේද: මහණෙනි, මේ ශාසනයෙහි පවිටු භික්‍ෂු තෙම හුදකළාව ප්‍රත්‍යන්ත දනව්වල වාසය කරයි. හෙතෙම එහි කුලයන්ට එළඹෙන්නේ ලාභය ලබයි. මහණෙනි, මෙසේ වනාහි පවිටු භික්‍ෂු තෙම එකළාව හැසිරෙන්නේ වේ.
“මහණෙනි, මේ කරුණු පසෙන් යුක්ත වූ පවිටු භික්‍ෂු තෙම සාරා දමන ලද ගුණ ඇති, නසන ලද ආත්මය පරිහරණය කරයි. වරද සහිත වූයේද, නුවණැත්තන්ගේ උපවාද සහිත වූයේද වෙයි. බොහෝ වූ පව්ද රැස් කරයි.