5. 3. 1. 1.
1. වෙසාරජ්ජ කරන ධම්ම සූත්‍රය
[සාවත්ථියෙහි නිදානයි]
101. “මහණෙනි, ශෛක්‍ෂයන්ගේ විශාරද භාවය ඇති කරන්නාවූ මේ ධර්‍ම පසක් වෙත්. කවර පසක්ද යත්?
“මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ශ්‍රද්‍ධාව ඇත්තේ වේද, සිල් ඇත්තේ වේද, බහුශ්‍රුත වේද, පටන්ගන්නාලද වීර්‍ය්‍ය ඇත්තේ වේද, ප්‍රඥා ඇත්තේ වේද,
“මහණෙනි, ශ්‍රද්‍ධා නැත්තහුට වනාහි යම් දොම්නසක් වේද, ශ්‍රද්‍ධා ඇත්තහුට ඒ දොම්නස නොවෙයි. එහෙයින් මේ ධර්‍මය තෙම ශෛක්‍ෂයන්ගේ විශාරද භාවය ඇති කරන්නේ වෙයි.
“මහණෙනි, දුශ්ශීලයාහට යම් දොම්නසක් වේද, සිල්වත්හට ඒ දොම්නස් නොවෙයි. එහෙයින් මේ ධර්‍මය තෙම ශෛක්‍ෂයන්ගේ විශාරද භාවය ඇති කරන්නේ වෙයි.
“මහණෙනි, අල්ප ශ්‍රුතයාහට යම් දොම්නසක් වේද, බහුශ්‍රුතයාහට ඒ දොම්නස නොවේ. එහෙයින් මේ ධර්‍මය තෙම ශෛක්‍ෂයන්ගේ විශාරද භාවය ඇති කරන්නේ වෙයි.
“මහණෙනි, කුසීතයාහට යම් දොම්නසක් වේද, පටන් ගන්නා ලද වීර්‍ය්‍යය ඇත්තාහට ඒ දොම්නස නොවේ. එහෙයින් මේ ධර්‍මය තෙම ශෛක්‍ෂයන්ගේ විශාරද භාවය ඇති කරන්නේ වෙයි.
“මහණෙනි, දුෂ්ප්‍රාඥයාහට යම් දොම්නසක් වේද, පටන් ගන්නා ලද ප්‍රඥා ඇත්තහුට ඒ දොම්නස නොවේ. එහෙයින් මේ ධර්‍මය තෙම ශෛක්‍ෂයන්ගේ විශාරද භාවය ඇති කරන්නේ වෙයි.
“මහණෙනි, ශෛක්‍ෂයන්ගේ විශාරද භාවය ඇති කරන්නාවූ මේ ධර්‍ම පසක් වෙත්.
5. 3. 1. 2.
2. උසස්ංකිත සූත්‍රය
[සාවත්ථියෙහි නිදානයි]
102. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ක්‍ෂීණාශ්‍රව වූයේද, ලාමක භික්‍ෂු උසස්යයි සැක කරණ ලද්දේ හාත්පස සැක කරණ ලද්දේ වේ. කවර පසකින්ද යත්:
“මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම වෛශ්‍යාවන් හුන් තැන් ගොදුරුකොට ඇත්තේ වේද, වැන්දඹු ස්ත්‍රීන් හුන් තැන් ගොදුරුකොට ඇත්තේ වේද, මහළු කුමරියන් හුන් තැන් ගොදුරුකොට ඇත්තේ හෝ වේද, නපුංසකයන් වසන තැන් ගොදුරුකොට ඇත්තේ හෝ වේද, භික්‍ෂුණීන් වසන තැන් ගොදුරුකොට ඇත්තේ හෝ වේද, යන පසිනි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ක්‍ෂීණාශ්‍රව වූයේද, ලාමක භික්‍ෂු උසස්යයි සැක කරණ ලද්දේ හාත්පස සැක කරණ ලද්දේ වේ. කවර පසකින්ද යත්:
5. 3. 1. 3.
3. මහාචොර සූත්‍රය
[සාවත්ථියෙහි නිදානයි]
103. “මහණෙනි, අඞ්ග පසකින් යුක්ත වූ මහ සොරතෙම උමංද සිඳියි. පැහැරීමද කරයි. එක් ගෙයක් පැහැර ගැනීමද කරයි. උවදුරු මං පැහැරීමෙහිද සිටියි. කවර පසකින්ද යත්:
“මහණෙනි, මේ ලෝකයෙහි මහ සොරතෙම විසම ස්ථාන ඇසුරු කෙළේද, සැඟවෙන තැන් ඇසුරු කෙළේද, බලවතුන් ඇසුරු කෙළේද, සම්පත් දෙන්නේද, එකළාව හැසිරෙන්නේද වේ.
“මහණෙනි, කෙසේනම් මහ සොරතෙම විෂම තැන් ඇසුරු කෙළේ වේද: මහණෙනි, මේ ලෝකයෙහි මහ සොරතෙම ගං හෝ වලින් යා නොහැකි තැන හෝ පර්වතයෙන් විෂම වන තැන හෝ ඇසුරු කෙළේ වේද, මහණෙනි, මෙසේ වනාහි මහ සොරතෙම විෂම තැන් ඇසුරු කෙළේ වේ.
“මහණෙනි, කෙසේනම් මහ සොරතෙම ගහණයන් ඇසුරු කෙළේ වේද: මහණෙනි, මේ ලෝකයෙහි මහ සොරතෙම තණකොළ ලැහැබක්, ගස් ලැහැබක් හෝ ගැඹුරු වූ වන ලැහැබක් හෝ ඇසුරු කෙළේ වේද, මහණෙනි, මෙසේ වනාහි මහ සොරතෙම සැඟවෙන තැන් ඇසුරු කෙළේ වේ.
“මහණෙනි, කෙසේනම් මහ සොරතෙම බලවතුන් ඇසුරු කෙළේ වේද: මහණෙනි, මේ ලෝකයෙහි මහ සොරතෙම රජහු හෝ, රජ මහ ඇමැතියකු හෝ ඇසුරු කෙළේ වේද, ඔහුට මෙබඳු සිතක් වෙයි. “ඉදින් මට කිසිවෙක් කිසිවක් කියන්නේ නම්, මේ රජහු හෝ රජ මහඇමතිවරු හෝ මාගේ දෝෂය වසාගෙන අර්ත්‍ථය කියන්නාහුය’යි. ඉදින් ඔහුට කිසිවෙක් කිසිවක් කීයේ නම්, ඒ රජහු හෝ රජ මහඇමතිවරු හෝ ඔහුගේ දෝෂය වසාගෙන අර්ත්‍ථය කියත්. මහණෙනි, මෙසේ වනාහි මහ සොරතෙම බලවතුන් ඇසුරු කෙළේ වේ.
“මහණෙනි, කෙසේනම් මහ සොරතෙම සම්පත් දෙන්නේ වේද: මහණෙනි, මේ ලෝකයෙහි මහ සොරතෙම ආඪ්‍යවූයේ, මහත් ධනය ඇත්තේ, මහත් සම්පත් ඇත්තේ වේද, ඔහුට මෙබඳු සිතක් වෙයි. "ඉදින් මට කිසිවෙක් කිසිවක් කියන්නේ නම් මේ සම්පත්වලින් පිළිසඳර කරන්නෙමි'යි. ඉදින් ඔහුට කිසිවෙක් කිසිවක් කීයේ නම්, සම්පත් දීමෙන් පිළිසඳර කරයි. මහණෙනි, මෙසේ වනාහි මහ සොරතෙම සම්පත් දෙන්නේ වේ.
“මහණෙනි, කෙසේනම් මහ සොරතෙම එකලාව හැසිරෙන්නේ වේද: මහණෙනි, මේ ලෝකයෙහි මහ සොරතෙම හුදකලාව අනුන් සතු බඩු ගැණීම් කරන්නේ වෙයි. ඊට හේතු කවරේද? ‘මාගේ රහස් මන්ත්‍රණයෝ පිටත්හි සම්භෙදයට නොපැමිණෙත්වා’යි. මහණෙනි, මෙසේ වනාහි මහ සොරතෙම එකළාව හැසිරෙන්නේ වේ.
“මහණෙනි, මේ අඞ්ග පසෙන් යුක්ත වූ මහ සොරතෙම උමංද සිඳියි. පැහැරීමද කරයි. එක් ගෙයක් පැහැර ගැනීමද කරයි. උවදුරු මං පැහැරීමෙහිද සිටියි.