5. 2. 3. 4.
4. දුතිය ධම්ම විහාරී සූත්‍රය
[සාවත්ථි නිදානයි]
24. ඉක්බිති එක්තරා භික්‍ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම ඒ භික්‍ෂු තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
“ස්වාමීනි, ‘දැහැමි’ විහරණ ඇත්තේය. දැහැමි විහරණ ඇත්තේය’ යි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි භික්‍ෂු තෙම දැහැමි විහරණ ඇත්තේ වේද?”
“මහණ, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම සූත්‍රය, ගෙය්‍යය, වෙය්‍යාකරණය, ගාථාය, උදානය, ඉතිවුත්තකය, ජාතකය, අද්භූත ධර්මය, වේදල්ලය යන ධර්මය හදාරයිද, මත්තෙහිද ඒ ධර්මයාගේ ප්‍රඥාවෙන් අර්ත්‍ථය නොදනීද, මහණ, මේ භික්‍ෂු තෙම පර්‍ය්‍යාප්ති බහුල කොට ඇත්තේය. දැහැමි විහරණ ඇත්තේ නොවේයයි කියනු ලැබේ.
“මහණ, නැවත අනිකක්ද කියමි. භික්‍ෂු තෙම අසන ලද පරිදි, පිරිවහණ ලද පරිදි, ධර්මය විස්තර වශයෙන් අනුන්ට දේශනා කෙරේද, මත්තෙහිද ඒ ධර්මයාගේ ප්‍රඥාවෙන් අර්ත්‍ථය නොදනීද, මහණ, මේ භික්‍ෂු තෙම හැඟවීම් බහුල කොට ඇත්තේය. දැහැමි විහරණ ඇත්තේ නොවේයයි කියනු ලැබේ.
“මහණ, නැවත අනිකක්ද කියමි. භික්‍ෂු තෙම අසන ලද පරිදි, පිරිවහණ ලද පරිදි, ධර්මය විස්තර වශයෙන් හැදෑරීම කෙරේද, මත්තෙහිද ඒ ධර්මයාගේ ප්‍රඥාවෙන් අර්ත්‍ථය නොදනීද, මහණ, මේ භික්‍ෂු තෙම හැදෑරුම් බහුල කොට ඇත්තේය. දැහැමි විහරණ ඇත්තේ නොවේයයි කියනු ලැබේ.
“මහණ, නැවත අනිකක්ද කියමි. භික්‍ෂු තෙම අසන ලද පරිදි, පිරිවහණ ලද පරිදි, ධර්මය සිතින් අනුව කල්පනා කෙරේද, අනුව හසුරුවාද, සිතින් සලකා බලාද, මත්තෙහිද ඒ ධර්මයාගේ ප්‍රඥාවෙන් අර්ත්‍ථය නොදනීද, මහණ, මේ භික්‍ෂු තෙම විතර්‍ක බහුල කොට ඇත්තේය. දැහැමි විහරණ ඇත්තේ නොවේයයි කියනු ලැබේ.
“මහණ, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම සූත්‍රය, ගෙය්‍යය, වෙය්‍යාකරණය, ගාථාය, උදානය, ඉතිවුත්තකය, ජාතකය, අද්භූත ධර්මය, වේදල්ලය යන ධර්මය හදාරයිද, මත්තෙහිද ඒ ධර්මයාගේ ප්‍රඥාවෙන් අර්ත්‍ථය දැනගනීද, මහණ, මෙසේ වනාහි භික්‍ෂු තෙම දැහැමි විහරණ ඇත්තේ වේ.
“මහණ, මෙසේ වනාහි පර්‍ය්‍යාප්ති බහුල කොට ඇත්තේ, මා විසින් දේශනා කරණ ලදී. සඤ්ඤත්ති බහුල කොට ඇත්තේ, මා විසින් දේශනා කරණ ලදී. සජ්ඣාය බහුල කොට ඇත්තේ, දේශනා කරණ ලදී. විතර්‍ක බහුල කොට ඇත්තේ, දේශනා කරණ ලදී. දැහැමි විහරණ ඇත්තේ දේශනා කරණ ලදී.
“මහණ, යමක් වනාහි වැඩ කැමතිවූ, අනුකම්පා ඇත්තාවූ, ශාස්තෲහු විසින් ශ්‍රාවකයන්ට අනුකම්පා පිණිස කටයුතුද, මා විසින් තොපට එය කරණ ලදී. මහණ, මේ රුක් මුල් ඇත්තාහ. මේ හිස් ගෙවල් ඇත්තාහ. මහණ, ධ්‍යාන කරව්. ප්‍රමාද නොවව්. පසුව විපිළිසර ඇත්තෝ නොවව්. මෙය තොපට අපගේ අනුශාසනාවය” යි වදාළ සේක.
5. 2. 3. 5.
5. පඨම යොධාජීව සූත්‍රය
[සැවැත් නුවර නිදාන කොට ගෙනයි]
25. “මහණෙනි, මේ යුද්‍ධ භටයෝ පස් දෙනෙක් ඇත්තාහු ලෝකයෙහි විද්‍යමාන වෙත්. කවර පස් දෙනෙක්ද යත්?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් යුද්‍ධ භටයෙක් තෙම රජස්කන්‍ධයම යුද්‍ධ භූමියෙන් නැංගාවූ ධූලි රාශියම දැක පසු බසියිද, විශේෂයෙන් පසු බසියිද, කෙලින් නොසිටියිද, යුද්‍ධ භූමියට බැස ගන්ට නොහැකිවේද, මහණෙනි, මෙබඳුවූ ඇතැම් යුද්‍ධ භටයෙක් වේ. මහණෙනි, මේ පළමුවෙනි යෝධාජීව තෙම ඇත්තේ ලෝකයෙහි විද්‍යමාන වේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මේ ලෝකයෙහි ඇතැම් යෝධාජීවයෙක් රජස්කන්‍ධය ඉවසාද, එතකුදු වුවත් ධජාග්‍රයම දැක පසු බසියිද, විශේෂයෙන් පසු බසියිද, කෙලින් නොසිටියිද, යුද්‍ධ භූමියට බැස ගන්ට නොහැකිවේද, මහණෙනි, මෙබඳුවූ ඇතැම් යුද්‍ධ භටයෙක් වේ. මහණෙනි, මේ දෙවෙනි යුද්‍ධයෙන් ජීවත්වීම ඇත්තේ ලෝකයෙහි විද්‍යමාන වේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මේ ලෝකයෙහි ඇතැම් යෝධාජීවයෙක්, රජස්කන්‍ධය ඉවසයි. ධජාග්‍රයද ඉවසයි. එතකුදු වුවත් උස්වූද, මහත්වූද ශබ්දයම අසා පසුබසියි. විශේෂයෙන් පසු බසියිද, කෙලින් නොසිටියිද, යුද්‍ධ භූමියට බැස ගන්ට නොහැකිවේද, මහණෙනි, මෙබඳුවූ ඇතැම් යුද්‍ධ භටයෙක් වේ. මහණෙනි, මේ තුන්වන යෝධාරීව තෙම ඇත්තේ ලෝකයෙහි විද්‍යමාන වේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මේ ලෝකයෙහි ඇතැම් යෝධාජීවයෙක් තෙම රජස් සමූහය ඉවසාද, ධජාග්‍රය ඉවසාද, උස්වූ ඝෝෂාව ඉවසාද, එතකුදු වුවත් පැමිණියාවූ ප්‍රහාරයෙහි නැසේද, විනාශයට පැමිණේද, මහණෙනි, මෙබඳුවූද මේ ලෝකයෙහි ඇතැම් යුද්‍ධ භටයෙක් වේ. මහණෙනි, මේ සතරවන යෝධාජීව තෙම ඇත්තේ ලෝකයෙහි විද්‍යමාන වේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මේ ලෝකයෙහි ඇතැම් යෝධාජීවයෙක් තෙම රජස්කන්‍ධය ඉවසාද, ධජාග්‍රය ඉවසාද, උසස්වූ ඝෝෂාව ඉවසාද, පැමිණි ප්‍රහාරය ඉවසාද, හෙතෙම ඒ යුද්‍ධය ජයගෙණ, දිනන ලද යුද්‍ධ ඇත්තේ, ඒ යුද්‍ධ භූමියෙහිම අධිපතිව වාසය කෙරේද, මහණෙනි, මෙබඳුවූද මේ ලෝකයෙහි ඇතැම් යෝධාජීවයෙක් වේ. මහණෙනි, මේ පස්වන යෝධාජීව තෙම ඇත්තේ ලෝකයෙහි විද්‍යමාන වේ.