5. 2. 1. 2.
2. අකුශල රාසි සූත්‍රය
සැවැත් නුවර දී ය
52. “මහණෙනි, අකුශල රාශියයි කියනු ලබන්නේ මේ පඤ්ච නීවරණයන් මනාකොට කියනු ලබන්නෙක් කියන්නේය. මහණෙනි, යම් මේ පඤ්ච නීවරණයෝ වෙද්ද, මෙය සම්පූර්‍ණම අකුශල රාශිය වේ.
“කවර පසක්ද යත්? කාමච්ඡන්‍ද නීවරණය, ව්‍යාපාද නීවරණය, ථීනම්ද්‍ධ නීවරණය, උද්‍ධච්චකුක්කුච්ච නීවරණය, විචිකිච්ඡා නීවරණය යන පසයි.
“මහණෙනි, අකුශල රාශියයි කියනු ලබන්නේ මේ පඤ්ච නීවරණයන් මනාකොට කියනු ලබන්නෙක් කියන්නේය. මහණෙනි, යම් මේ පඤ්ච නීවරණයෝ වෙද්ද, මෙය සම්පූර්‍ණම අකුශල රාශිය වේ.
5. 2. 1. 3.
3. පධානියඞ්ග සූත්‍රය
සැවැත් නුවර දී ය
53. “මහණෙනි, වීර්‍ය්‍ය කරණ භික්‍ෂුහුගේ අඞ්ගයෝ මේ පසක් වෙත්. කවර පසක්ද යත්?
“මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ශ්‍රද්‍ධාව ඇත්තේ වේද, මහණෙනි, ශ්‍රද්‍ධා ධනය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ශ්‍රද්‍ධා ඇත්තේ වේද, ඒ භාග්‍යවත්තෙම මේ කාරණයෙන්ද අර්හත් සම්‍යක් සම්බුද්‍ධය, විජ්ජාචරණ සම්පන්නය, සුගතය, ලෝකවිදූය, උතුම්වූ පුරුෂයන් හික්මවීමේ රියැදුරෙක, දෙවි මිනිසුන්ට ශාස්තෲය, චතුස්සත්‍යාවබෝධ කෙළේය, භාග්‍යවත්යයි තථාගතයන්ගේ බෝධිය අදහාද, මහණෙනි, මෙය ශ්‍රද්‍ධා ධනයයි කියනු ලැබේ අදහාද.
“නීරෝග වූයේ නිදුක් වූයේ, ඉතා සිහිල් නුවූ, ඉතා උනුසුම් නුවූ, මධ්‍යමවූ, වීර්‍ය්‍ය කිරීමට සුදුසුවූ, සමව පැසවීම් ඇති, ග්‍රහණියෙන් හෙවත් කර්‍මජ තේජෝ ධාතුවෙන් යුක්තවූයේ වේද,
“ප්‍රයෝග රහිත වූයේ, මායා නැත්තේ, ‘වූ පරිදි’ තමා ශාස්තෲන් වහන්සේ කෙරෙහි හෝ නුවණැති සබ්‍රම්සරුන් කෙරෙහි හෝ ප්‍රකාශ කරන්නේ වේද,
“අතුශල ධර්‍මයන්ගේ දුරුකිරීම පිණිසද, ශක්ති ඇත්තේ, දෘඪ වීර්‍ය්‍යය ඇත්තේ, කුශල ධර්‍මයන්හි බහා නොතබන ලද බර ඇත්තේ, පටන්ගන්නා ලද වීර්‍ය්‍යය ඇතිව වාසය කෙරේද,
“ආර්‍ය්‍යවූ, කෙළෙසුන් බිඳින්නාවූ, මනාකොට දුක් නැතිකිරීම පිණිස පවත්නාවූ, ඇතිවීම නැතිවීම දැනගන්නා පිණිස පවත්නාවූ, නුවණින් යුක්තවූයේ, ප්‍රඥාව ඇත්තේ වේද,
“මහණෙනි, වීර්‍ය්‍ය කරණ භික්‍ෂුහුගේ අඞ්ගයෝ මේ පසක් වෙත්.
5. 2. 1. 4.
4. අසමය සමය සූත්‍රය
සැවැත් නුවර දී ය
54. “මහණෙනි, වීර්‍ය්‍ය කිරීමට නුසුදුසු මේ කාල පසක් වෙත්. කවර පසක්ද යත්?
“මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම ජරාවෙන් මඩනා ලද්දේ, දිරූයේ වේද, මහණෙනි, වීර්‍ය්‍ය කිරීමට මේ පළමුවන නුසුදුසු කාලය වේ.
“නැවත අනිකක්ද කියමි. මහණෙනි, භික්‍ෂු තෙම හටගත් ව්‍යාධි ඇත්තේ, ව්‍යාධියෙන් පෙළුනේ වේද, මහණෙනි, මේ වීර්‍ය්‍ය කිරීමට දෙවෙනි නුසුදුසු කාලය වේ.
“නැවත අනිකක්ද කියමි. මහණෙනි, දුර්ලභ ශෂ්‍ය ඇති, දුර්ලභවූ ආහාර ඇති, දුර්භික්‍ෂයක් වේද, සිඟා හැසිරීමෙන්, ලද දෙයින් යැපෙන්ට පහසු නොවේද, මහණෙනි, මේ තුන්වන වීර්‍ය්‍ය කිරීමට නුසුදුසු කාලය වේ.
“නැවත අනිකක්ද කියමි. වනයෙහි කැළඹීම් ඇති භයක් වේද, රථ වලට නැංගාවූ දනව් වැස්සෝ ඔබ මොබ යෙද්ද, මහණෙනි, මේ සතරවන වීර්‍ය්‍ය කිරීමට නුසුදුසු කාලය වේ.
“නැවත අනිකක්ද කියමි. මහණෙනි, සංඝ තෙම බිඳුනේ වේද, මහණෙනි, සංඝයා බිඳුනු කල්හි වනාහි ඔවුනොවුන්ට ආක්‍රොෂ කරන්නාහුද වෙත්. ඔවුනොවුන්ට පරිභව කරන්නාහුද වෙත්. ඔවුනොවුන් හාත්පස දුරු කරන්නාහුද වෙත්. ඔවුනොවුන් හැර දමන්නාහුද වෙත්.
“එහි ප්‍රසන්න නොවූවෝද, නොපහදිත්. ප්‍රසන්නවූද සමහරුන්ගේ අන් පරිදිවීම වේ. මහණෙනි, මේ පස්වන වීර්‍ය්‍ය කිරීමට නුසුදුසු කාලය වේ.
“මහණෙනි, වීර්‍ය්‍ය කිරීමට නුසුදුසු මේ කාල පසක් වෙත්.