5. 2. 1. 3.
3. පධානියඞ්ග සූත්රය
සැවැත් නුවර දී ය
53. “මහණෙනි, වීර්ය්ය කරණ භික්ෂුහුගේ අඞ්ගයෝ මේ පසක් වෙත්. කවර පසක්ද යත්?
“මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම ශ්රද්ධාව ඇත්තේ වේද, මහණෙනි, ශ්රද්ධා ධනය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්ය්ය ශ්රාවක තෙම ශ්රද්ධා ඇත්තේ වේද, ඒ භාග්යවත්තෙම මේ කාරණයෙන්ද අර්හත් සම්යක් සම්බුද්ධය, විජ්ජාචරණ සම්පන්නය, සුගතය, ලෝකවිදූය, උතුම්වූ පුරුෂයන් හික්මවීමේ රියැදුරෙක, දෙවි මිනිසුන්ට ශාස්තෲය, චතුස්සත්යාවබෝධ කෙළේය, භාග්යවත්යයි තථාගතයන්ගේ බෝධිය අදහාද, මහණෙනි, මෙය ශ්රද්ධා ධනයයි කියනු ලැබේ අදහාද.
“නීරෝග වූයේ නිදුක් වූයේ, ඉතා සිහිල් නුවූ, ඉතා උනුසුම් නුවූ, මධ්යමවූ, වීර්ය්ය කිරීමට සුදුසුවූ, සමව පැසවීම් ඇති, ග්රහණියෙන් හෙවත් කර්මජ තේජෝ ධාතුවෙන් යුක්තවූයේ වේද,
“ප්රයෝග රහිත වූයේ, මායා නැත්තේ, ‘වූ පරිදි’ තමා ශාස්තෲන් වහන්සේ කෙරෙහි හෝ නුවණැති සබ්රම්සරුන් කෙරෙහි හෝ ප්රකාශ කරන්නේ වේද,
“අතුශල ධර්මයන්ගේ දුරුකිරීම පිණිසද, ශක්ති ඇත්තේ, දෘඪ වීර්ය්යය ඇත්තේ, කුශල ධර්මයන්හි බහා නොතබන ලද බර ඇත්තේ, පටන්ගන්නා ලද වීර්ය්යය ඇතිව වාසය කෙරේද,
“ආර්ය්යවූ, කෙළෙසුන් බිඳින්නාවූ, මනාකොට දුක් නැතිකිරීම පිණිස පවත්නාවූ, ඇතිවීම නැතිවීම දැනගන්නා පිණිස පවත්නාවූ, නුවණින් යුක්තවූයේ, ප්රඥාව ඇත්තේ වේද,
“මහණෙනි, වීර්ය්ය කරණ භික්ෂුහුගේ අඞ්ගයෝ මේ පසක් වෙත්.
5. 2. 1. 4.
4. අසමය සමය සූත්රය
සැවැත් නුවර දී ය
54. “මහණෙනි, වීර්ය්ය කිරීමට නුසුදුසු මේ කාල පසක් වෙත්. කවර පසක්ද යත්?
“මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුතෙම ජරාවෙන් මඩනා ලද්දේ, දිරූයේ වේද, මහණෙනි, වීර්ය්ය කිරීමට මේ පළමුවන නුසුදුසු කාලය වේ.
“නැවත අනිකක්ද කියමි. මහණෙනි, භික්ෂු තෙම හටගත් ව්යාධි ඇත්තේ, ව්යාධියෙන් පෙළුනේ වේද, මහණෙනි, මේ වීර්ය්ය කිරීමට දෙවෙනි නුසුදුසු කාලය වේ.
“නැවත අනිකක්ද කියමි. මහණෙනි, දුර්ලභ ශෂ්ය ඇති, දුර්ලභවූ ආහාර ඇති, දුර්භික්ෂයක් වේද, සිඟා හැසිරීමෙන්, ලද දෙයින් යැපෙන්ට පහසු නොවේද, මහණෙනි, මේ තුන්වන වීර්ය්ය කිරීමට නුසුදුසු කාලය වේ.
“නැවත අනිකක්ද කියමි. වනයෙහි කැළඹීම් ඇති භයක් වේද, රථ වලට නැංගාවූ දනව් වැස්සෝ ඔබ මොබ යෙද්ද, මහණෙනි, මේ සතරවන වීර්ය්ය කිරීමට නුසුදුසු කාලය වේ.
“නැවත අනිකක්ද කියමි. මහණෙනි, සංඝ තෙම බිඳුනේ වේද, මහණෙනි, සංඝයා බිඳුනු කල්හි වනාහි ඔවුනොවුන්ට ආක්රොෂ කරන්නාහුද වෙත්. ඔවුනොවුන්ට පරිභව කරන්නාහුද වෙත්. ඔවුනොවුන් හාත්පස දුරු කරන්නාහුද වෙත්. ඔවුනොවුන් හැර දමන්නාහුද වෙත්.
“එහි ප්රසන්න නොවූවෝද, නොපහදිත්. ප්රසන්නවූද සමහරුන්ගේ අන් පරිදිවීම වේ. මහණෙනි, මේ පස්වන වීර්ය්ය කිරීමට නුසුදුසු කාලය වේ.
“මහණෙනි, වීර්ය්ය කිරීමට නුසුදුසු මේ කාල පසක් වෙත්.
“මහණෙනි, වීර්ය්ය කිරීමට මේ සුදුසු කාල පසක් වෙත්. කවර පසක්ද යත්?
“මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුතෙම යෞවන වූයේ, බාල වූයේ, කළු හිස කෙස් ඇත්තේ, සොඳුරුවූ, යෞවනවූ, ප්රථම වයසින් යුක්ත වූයේ, තරුණ වූයේ වේද, මහණෙනි, මේ පළමුවන වීර්ය්ය කිරීමට සුදුසු කාලය වේ.
“නැවත අනිකක්ද කියමි. මහණෙනි, භික්ෂු තෙම නිදුක් වූයේ, ඉතා සිහිල් නොවූ, ඉතා උෂ්ණ නොවූ, මධ්යමවූ, වීර්ය්ය කිරීමට සුදුසුවූ, සමව පැසවීම් ඇත්තාවූ, ග්රහණයෙන් හෙවත් කර්මජ තේජෝ ධාතුවෙන් යුක්ත වූයේ නීරෝග වේද, මහණෙනි, මේ දෙවන වීර්ය්ය කිරීමට සුදුසු කාලය වේ.
“නැවත අනිකක්ද කියමි. මහණෙනි, යහපත් ශෂ්ය ඇති, සුලභ ආහාර ඇති, සිඟා හැසිරීමෙන්, ලද දෙයින් යැපෙන්ට පහසුවූ සුභික්ෂයක් වේද, මහණෙනි, මේ තුන්වන වීර්ය්ය කිරීමට සුදුසු කාලය වේ.
“නැවත අනිකක්ද කියමි. මහණෙනි, මිනිස්සු සමගි වූවාහු, සතුටු වන්නාහු, විවාද නොකරන්නාහු, කිරි හා දිය මෙන් එක් වූවාහු, ඔවුනොවුන් ප්රියවූ ඇස්වලින් බලන්නාහු වාසය කෙරෙද්ද, මහණෙනි, මේ සතරවන වීර්ය්ය කිරීමට සුදුසු කාලය වේ.
“නැවත අනිකක්ද කියමි. මහණෙනි, සංඝ තෙම සමගි වූයේ, සතුටු වන්නේ, විවාද නොකරන්නේ, එකට උදෙසීම් ඇත්තේ, පහසුවෙන් වාසය කෙරේද, මහණෙනි, සංඝයා වනාහි සමගි කල්හි ඔවුනොවුන්ට නොම ආක්රොෂ කෙරෙත්. ඔවුනොවුන්ට පරිභව නොකෙරෙත්. ඔවුනොවුන් හාත් පසින් දුරු නොකෙරෙත්. ඔවුනොවුන් හැර දමන්නාහු නොවෙත්. එහි ප්රසන්න නොවූවාහුද පහදිත්. ප්රසන්න වූවන්ගේ බහුල භාවය වේ. මහණෙනි, මේ පස්වන වීර්ය්ය කිරීමට සුදුසු කාලය වේ.
“මහණෙනි, මේ පධාන වීර්ය්යය කිරීමට සුදුසු කාල පස යි.
5. 2. 1. 5.
5. මාතාපුත්ත සූත්රය
55. එක් කාලයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි අනේපි්ඩු සිටුහුගේ අරමෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි සැවැත් නුවර, මව හා පුත්රවූ භික්ෂුවක්ද, භික්ෂුණියක්ද, යන දෙදෙනෙක් වස් වැසීමට පැමිණියාහුය.
ඔවුහු, ඔවුනොවුන් නිතර දකිනු කැමති වූවාහුය. මවද, පුත්රයා නිතර දකිනු කැමැත්තී විය. පුත්ර තෙමේද, මව නිතර දකිනු කැමැත්තේ විය. ඔවුන්ගේ නිතර දැකීමෙන් සංසර්ගය වූයේය. සංසර්ගය ඇති කල්හි විශ්වාසය වූයේය. විශ්වාසය ඇති කල්හි බැස ගැනීම වූයේය. බැසගත් සිත් ඇත්තාවූ ඔවුහු ශික්ෂාව හැර නොදමා, දුර්වල බව ප්රකාශ නොකොට, මෛථුන ධර්මය ප්රතිසේවනය කළාහුය.
“එකල්හි බොහෝවූ භික්ෂූහු භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට එළඹියාහුය. ඵළඹ, භාග්යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව උන්නාහුය. එකත්පස්ව හුන්නාවුම ඒ භික්ෂූහු, භාග්යවතුන් වහන්සේට මෙය සැළකළාහුය. ස්වාමීනි, එකල්හි වනාහි සැවැත් නුවර, මව හා පුත්රවූ භික්ෂුවක්ද, භික්ෂුණියක්ද, යන දෙදෙනෙක් වස් වැසීමට පැමිණියාහුය. ඔවුහු, ඔවුනොවුන් නිතර දකිනු කැමති වූවාහුය. මවද, පුත්රයා නිතර දකිනු කැමැත්තී විය. පුත්ර තෙමේද, මව නිතර දකිනු කැමැත්තේ විය. ඔවුන්ගේ නිතර දැකීමෙන් සංසර්ගය වූයේය. සංසර්ගය ඇති කල්හි විශ්වාසය වූයේය. විශ්වාසය ඇති කල්හි බැස ගැනීම වූයේය. බැසගත් සිත් ඇත්තාවූ ඔවුහු ශික්ෂාව හැර නොදමා, දුර්වල බව ප්රකාශ නොකොට, මෛථුන ධර්මය ප්රතිසේවනය කළාහුය.