5. 1. 5. 9.
පසෙනදි අලබ්භනීයඨාන සූත්‍රය
49. “එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ, සැවැත් නුවර සමීපයෙහි වූ, අනේපිඬු මහ සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. “එකල්හි වනාහි පසෙනදි කොසොල් රජ තෙම භාග්‍යවතුන් වහන්සේ, යම් තැනෙක්හිද, එතැනට එළඹියේය. එළඹ, භාග්‍යවතුන් වහන්සේට සකස්කොට වැඳ, එකත්පස්ව හුන්නේය.
ඉක්බිති එක්තරා පුරුෂයෙක් පසේනදි කොසොල් රජ තෙම යම් තැනෙක්හිද. එතැනට එළඹියේය. එළඹ, පසේනදි කොසොල් රජහුගේ කන ළඟ. “දේවයන් වහන්ස, මල්ලිකා දේවී තොමෝ කළුරිය කළාය” යි දැනවූයේය.
“මෙසේ කී කල්හි පසේනදි කොසොල් රජ තෙම දුක් වූයේ, නොසතුටු වූයේ, පතිතවූ කඳ ඇත්තේ, යටිකුරුවූ මුහුණ ඇත්තේ, සිතිවිලි සිතන්නේ, වැටහීම් රහිතවූයේ, හුන්නේය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දුක්වූ, නොසතුටුවූ, පතිතවූ කඳ ඇති, යටිකුරු මුහුණ ඇති, සිතුවිලි සිතන්නාවූ, වැටහීම් රහිතවූ, පසෙනදි කොසොල් රජහු දැක, පසෙනදි කොසොල් රජහුට මෙය වදාළ සේක.
“මහරජ, ශ්‍රමණයෙකු විසින් හෝ, බ්‍රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්‍රහ්මයෙකු විසින් හෝ, ලෝකයෙහි කිසිවෙකු විසිනුත් නොලැබිය හැක්කාවූ මේ කරුණු පසක් වෙත්. කවර පසක්ද යත්? “ජරා ධර්‍මය නොදිරාවායි, “ශ්‍රමණයෙකු විසින් හෝ, බ්‍රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්‍රහ්මයෙකු විසින් හෝ, ලෝකයෙහි කිසිවෙකු විසිනුත් නොලැබිය හැකි කරුණක් වේ. “ව්‍යාධි ධර්‍මය නොපෙලාවායි ශ්‍රමණයෙකු විසින් හෝ, බ්‍රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්‍රහ්මයෙකු විසින් හෝ, ලෝකයෙහි කිසිවෙකු විසිනුත් නොලැබිය හැකි කරුණක් වේ. මරණ ධර්‍මය නොමියේවායි ශ්‍රමණයෙකු විසින් හෝ, බ්‍රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්‍රහ්මයෙකු විසින් හෝ, ලෝකයෙහි කිසිවෙකු විසිනුත් නොලැබිය හැකි කරුණක් වේ. ක්‍ෂය ධර්‍මය ක්‍ෂය නොවේවායි ශ්‍රමණයෙකු විසින් හෝ, බ්‍රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්‍රහ්මයෙකු විසින් හෝ, ලෝකයෙහි කිසිවෙකු විසිනුත් නොලැබිය හැකි කරුණක් වේ. නැසෙන ධර්‍මය නොනසීවායි, ශ්‍රමණයෙකු විසින් හෝ, බ්‍රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්‍රහ්මයෙකු විසින් හෝ, ලෝකයෙහි කිසිවෙකු විසිනුත් නොලැබිය හැකි කරුණක් වේ. (1) ශොක කිරීමෙන්ද, වැළපීමෙන්ද, ස්වල්පවූද ප්‍රයෝජනයකුත් ලැබිය නොහැක්කේය. ශොක කරන්නාවූ, දුකට පැමිණියාවූ, මොහු දැන පස මිතුරෝ සතුටු සිත් ඇත්තෝ වෙත්. (2) “යම් කලෙක්හි වනාහි කරුණාවන්තවූ, අර්ත්‍ථ විනිශ්චයෙහි දක්‍ෂවූ, පණ්ඩිත තෙම විපත්වලදී කම්පා නොවේද, එකල්හි මොහුගේ පසමිතුරෝ විකාර නොවූ, පැරණි මුහුණ දැක දුක් වූවාහු වෙත්. (3) “ගුණ කීමෙන්ද, මන්ත්‍ර පිරවීමෙන්ද, යහපත් වචනයෙන්ද, වස්තු දීමෙන්ද, කුල ප්‍රවේනිය කීමෙන්ද, යම් යම් පරිද්දකින්, යම් යම් තැනෙක්හි ප්‍රයෝජනය ලබන්නේද, ඒ ඒ පරිද්දෙන්, ඒ ඒ තන්හි උත්සාහ කරන්නේය. (4) “ඉදින් මා විසින්ද, අනිකා විසින්ද, මේ අර්ත්‍ථය නොලැබිය හැක්කේයයි දන්නේ නම්, ශොක නොකරන්නාවූ හෙතෙම මාගේ කර්‍මය දැඩිවේ. දැන් කුමක් කරම්දැයි, ඉවසන්නේයයි වදාළ සේක.
5. 1. 5. 10.
මුණ්ඩරාජ සූත්‍රය
50. එක් කලෙක්හි ආයුෂ්මත් නාරද ස්ථවිර තෙම පැළලුප් නුවර කුක්කුටාරාමයෙහි වාසය කරයි. එකල්හි වනාහි, “මුණ්ඩ නම් රජුගේ ප්‍රියවූ, මනාපවූ, භද්‍රා නම් දේවී තොමෝ කළුරිය කරණ ලද්දී වේ. හෙතෙම ප්‍රියවූ මනාපවූ භද්‍රා නම් දේවිය කළුරිය කළ කල්හි නොම ස්නානය කරයි. සුවඳ නොගල්වයි. ආහාර අනුභව නොකරයි. කර්‍මාන්තය නොයොදවයි. රෑ දාවල් දෙක්හි භද්‍රා නම් දේවියගේ ශරීරයෙහි අධික ආශාවෙන් මුසපත්වූයේ වෙයි.. “ඉත්බිති මුණ්ඩ නම් රජ තෙම පියක නම් කොටු ගුල් රක්නහු කැඳවූයේය. “එසේ වී නම් යහළු පියකය, භද්‍රා නම් දේවියගේ ශරීරය අයොමය තෙල් ඔරුවෙක්හි බහා අනික් අයොමය ඔරුවකින් වසව්. යම් සේ අපි භද්‍රා නම් දේවියගේ ශරීරය ඉතා බොහෝ කලක් දක්නෙම්ද,”
“එසේය, දේවයන් වහන්ස, එසේය” යි කියා පියක නම් කොෂ්ටාරක්‍ෂක තෙම මුණ්ඩ නම් රජහට ප්‍රති වචන දී, භද්‍රා නම් දේවියගේ ශරීරය අයෝමය තෙල් ඔරුවෙක්හි බහා අන්‍යවූ අයෝමය ඔරුවෙකින් වැසුයේය.
ඉක්බිති පියක නම් කොෂ්ටාරක්‍ෂකයාට මෙබඳු අදහසක් විය. “මුණ්ඩ නම් රජුගේ ප්‍රියවූ, මනාපවූ, භද්‍රා නම් දේවී තොමෝ කළුරිය කරණ ලද්දී වේ. හෙතෙම ප්‍රියවූ මනාපවූ භද්‍රා නම් දේවිය කළුරිය කළ කල්හි නොම ස්නානය කරයි. සුවඳ නොගල්වයි. ආහාර අනුභව නොකරයි. කර්‍මාන්තය නොයොදවයි. රෑ දාවල් දෙක්හි භද්‍රා නම් දේවියගේ ශරීරයෙහි අධික ආශාවෙන් මුසපත්වූයේ වෙයි.. “මුණ්ඩ නම් රජ තෙම යමෙකුගේ ධර්මයක් අසා ශොක නමැති හුල දුරු කරන්නේද, එබඳුවූ කවර නම් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ පර්‍ය්‍යුපාසනය කරන්නේද?” ඉක්බිති පියක නම් කොෂ්ටාරක්‍ෂකයාට මේ අදහස විය.
“මේ ආයුෂ්මත් නාරද ස්ථවිර තෙම වනාහි පැළලුප් නුවර කුක්කුටාරාමයෙහි වාසය කරයි. ඒ ආයුෂ්මත් නාරද ස්ථවිරයන් වනාහි පණ්ඩිතය, ව්‍යක්තය, නුවණ ඇත්තේය, බහුශ්‍රුතය, විසිතුරු කථා ඇත්තේය. යහපත් වැටහීම් ඇත්තේය. වැඩිමහළු වූයේද, රහත් වූයේද වේය” යි මෙසේ යහපත්වූ ගුණ ඝෝෂාවෙක් පැන නැංගේය. “මුණ්ඩ නම් රජ තෙම, ආයුෂ්මත් නාරද ස්ථවිරයන් පර්‍ය්‍යුපාසනය කරන්නේ නම් ඉතා යෙහෙක. මුණ්ඩ නම් රජ තෙම, ආයුෂ්මත් නාරද ස්ථවිරයන්ගේ ධර්‍මයක් අසා ශොක නමැති හුල දුරු කරන්නේ නම් ඉතා යෙහෙකැ” යි, ඉක්බිති පියක නම් කොෂ්ටාරක්‍ෂක තෙම මුණ්ඩ නම් රජ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, මුණ්ඩ නම් රජුට මෙය කීයේය.
“දේවයන් වහන්ස, මේ ආයුෂ්මත් නාරද ස්ථවිර තෙම වනාහි පැළලුප් නුවර කුක්කුටාරාමයෙහි වාසය කරයි. ඒ ආයුෂ්මත් නාරද ස්ථවිරයන් වනාහි පණ්ඩිතය, ව්‍යක්තය, නුවණ ඇත්තේය, බහුශ්‍රුතය, විසිතුරු කථා ඇත්තේය. යහපත් වැටහීම් ඇත්තේය. වැඩිමහළු වූයේද, රහත් වූයේද වේය” යි මෙසේ යහපත්වූ ගුණ ඝෝෂාවෙක් පැන නැංගේය. ඉදින් වනාහි දේවයන් වහන්සේ ආයුෂ්මත් නාරද ස්ථවිරයන් වහන්සේ ඇසුරු කරන්නේ නම්, දේවයන් වහන්සේ ආයුෂ්මත් නාරද ස්ථවිරයන්ගේ ධර්‍මයක් අසා ශොක නමැති හුල දුරු කරන්නේ නම් ඉතා යෙහෙක” කියායි.
එසේ වීනම් යහළු පියකය, ආයුෂ්මත් නාරද ස්ථවිරයන් වහන්සේට දැනුම් දෙව. කෙසේ නම් මා වැන්නෙක් රාජ්‍යයෙහි වාසය කරන්නාවූ ශ්‍රමණයෙකු හො බ්‍රාහ්මණයෙකු වෙත, පළමු නොදන්වන ලද්දේ එළඹියයුතුයයි හඟින්නේද?”