5. 1. 5. 10.
මුණ්ඩරාජ සූත්‍රය
50. එක් කලෙක්හි ආයුෂ්මත් නාරද ස්ථවිර තෙම පැළලුප් නුවර කුක්කුටාරාමයෙහි වාසය කරයි. එකල්හි වනාහි, “මුණ්ඩ නම් රජුගේ ප්‍රියවූ, මනාපවූ, භද්‍රා නම් දේවී තොමෝ කළුරිය කරණ ලද්දී වේ. හෙතෙම ප්‍රියවූ මනාපවූ භද්‍රා නම් දේවිය කළුරිය කළ කල්හි නොම ස්නානය කරයි. සුවඳ නොගල්වයි. ආහාර අනුභව නොකරයි. කර්‍මාන්තය නොයොදවයි. රෑ දාවල් දෙක්හි භද්‍රා නම් දේවියගේ ශරීරයෙහි අධික ආශාවෙන් මුසපත්වූයේ වෙයි.. “ඉත්බිති මුණ්ඩ නම් රජ තෙම පියක නම් කොටු ගුල් රක්නහු කැඳවූයේය. “එසේ වී නම් යහළු පියකය, භද්‍රා නම් දේවියගේ ශරීරය අයොමය තෙල් ඔරුවෙක්හි බහා අනික් අයොමය ඔරුවකින් වසව්. යම් සේ අපි භද්‍රා නම් දේවියගේ ශරීරය ඉතා බොහෝ කලක් දක්නෙම්ද,”
“එසේය, දේවයන් වහන්ස, එසේය” යි කියා පියක නම් කොෂ්ටාරක්‍ෂක තෙම මුණ්ඩ නම් රජහට ප්‍රති වචන දී, භද්‍රා නම් දේවියගේ ශරීරය අයෝමය තෙල් ඔරුවෙක්හි බහා අන්‍යවූ අයෝමය ඔරුවෙකින් වැසුයේය.
ඉක්බිති පියක නම් කොෂ්ටාරක්‍ෂකයාට මෙබඳු අදහසක් විය. “මුණ්ඩ නම් රජුගේ ප්‍රියවූ, මනාපවූ, භද්‍රා නම් දේවී තොමෝ කළුරිය කරණ ලද්දී වේ. හෙතෙම ප්‍රියවූ මනාපවූ භද්‍රා නම් දේවිය කළුරිය කළ කල්හි නොම ස්නානය කරයි. සුවඳ නොගල්වයි. ආහාර අනුභව නොකරයි. කර්‍මාන්තය නොයොදවයි. රෑ දාවල් දෙක්හි භද්‍රා නම් දේවියගේ ශරීරයෙහි අධික ආශාවෙන් මුසපත්වූයේ වෙයි.. “මුණ්ඩ නම් රජ තෙම යමෙකුගේ ධර්මයක් අසා ශොක නමැති හුල දුරු කරන්නේද, එබඳුවූ කවර නම් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ පර්‍ය්‍යුපාසනය කරන්නේද?” ඉක්බිති පියක නම් කොෂ්ටාරක්‍ෂකයාට මේ අදහස විය.
“මේ ආයුෂ්මත් නාරද ස්ථවිර තෙම වනාහි පැළලුප් නුවර කුක්කුටාරාමයෙහි වාසය කරයි. ඒ ආයුෂ්මත් නාරද ස්ථවිරයන් වනාහි පණ්ඩිතය, ව්‍යක්තය, නුවණ ඇත්තේය, බහුශ්‍රුතය, විසිතුරු කථා ඇත්තේය. යහපත් වැටහීම් ඇත්තේය. වැඩිමහළු වූයේද, රහත් වූයේද වේය” යි මෙසේ යහපත්වූ ගුණ ඝෝෂාවෙක් පැන නැංගේය. “මුණ්ඩ නම් රජ තෙම, ආයුෂ්මත් නාරද ස්ථවිරයන් පර්‍ය්‍යුපාසනය කරන්නේ නම් ඉතා යෙහෙක. මුණ්ඩ නම් රජ තෙම, ආයුෂ්මත් නාරද ස්ථවිරයන්ගේ ධර්‍මයක් අසා ශොක නමැති හුල දුරු කරන්නේ නම් ඉතා යෙහෙකැ” යි, ඉක්බිති පියක නම් කොෂ්ටාරක්‍ෂක තෙම මුණ්ඩ නම් රජ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, මුණ්ඩ නම් රජුට මෙය කීයේය.
“දේවයන් වහන්ස, මේ ආයුෂ්මත් නාරද ස්ථවිර තෙම වනාහි පැළලුප් නුවර කුක්කුටාරාමයෙහි වාසය කරයි. ඒ ආයුෂ්මත් නාරද ස්ථවිරයන් වනාහි පණ්ඩිතය, ව්‍යක්තය, නුවණ ඇත්තේය, බහුශ්‍රුතය, විසිතුරු කථා ඇත්තේය. යහපත් වැටහීම් ඇත්තේය. වැඩිමහළු වූයේද, රහත් වූයේද වේය” යි මෙසේ යහපත්වූ ගුණ ඝෝෂාවෙක් පැන නැංගේය. ඉදින් වනාහි දේවයන් වහන්සේ ආයුෂ්මත් නාරද ස්ථවිරයන් වහන්සේ ඇසුරු කරන්නේ නම්, දේවයන් වහන්සේ ආයුෂ්මත් නාරද ස්ථවිරයන්ගේ ධර්‍මයක් අසා ශොක නමැති හුල දුරු කරන්නේ නම් ඉතා යෙහෙක” කියායි.
එසේ වීනම් යහළු පියකය, ආයුෂ්මත් නාරද ස්ථවිරයන් වහන්සේට දැනුම් දෙව. කෙසේ නම් මා වැන්නෙක් රාජ්‍යයෙහි වාසය කරන්නාවූ ශ්‍රමණයෙකු හො බ්‍රාහ්මණයෙකු වෙත, පළමු නොදන්වන ලද්දේ එළඹියයුතුයයි හඟින්නේද?”
“දේවයන් වහන්ස, එසේය” යි කියා පියක නම් කොෂ්ටාරක්‍ෂක තෙම මුණ්ඩ නම් රජහට උත්තර දී, ආයුෂ්මත් නාරද ස්ථවිරයන් යම් තැනෙක්හිද, එතනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් නාරද ස්ථවිරයන් වහන්සේට සකස් කොට වැඳ, එකත්පස්ව හුන්නේය. “එකත්පසෙක හුන්නාවූම පියක නම් කොෂ්ටාරක්‍ෂක තෙම ආයුෂ්මත් නාරද ස්ථවිරයන්ට මෙය කීයේය. “ස්වාමීනි, මුණ්ඩ නම් රජුගේ ප්‍රියවූ, මනාපවූ, භද්‍රා නම් දේවී තොමෝ කළුරිය කරණ ලද්දී වේ. හෙතෙම ප්‍රියවූ මනාපවූ භද්‍රා නම් දේවිය කළුරිය කළ කල්හි නොම ස්නානය කරයි. සුවඳ නොගල්වයි. ආහාර අනුභව නොකරයි. කර්‍මාන්තය නොයොදවයි. රෑ දාවල් දෙක්හි භද්‍රා නම් දේවියගේ ශරීරයෙහි අධික ආශාවෙන් මුසපත්වූයේ වෙයි. ස්වාමීනි, ආයුෂ්මත් නාරද ස්ථවිර තෙම මුණ්ඩ නම් රජහට යම්සේ මුණ්ඩ නම් රජ තෙම ආයුෂ්මත් නාරද ස්ථවිරයන් වහන්සේ ගේ ධර්‍මයක් අසා ශොක නමැති හුල දුරු කරන්නේද, එසේ ධර්‍මයක් දේශනා කරණ සේක්වා” යි.
“පියකය, මුණ්ඩ නම් රජ තෙම යමක් සඳහා කාලය හඟීද, එයට දැන් සුදුසුය” යි කීයේය.
ඉක්බිති පියක නම් කොෂ්ටාරක්‍ෂක තෙම හුනස්නෙන් නැගිට ආයුෂ්මත් නාරද ස්ථවිරයන්ට සකස්කොට වැඳ, ප්‍රදක්‍ෂිණාකොට, මුණ්ඩ නම් රජ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, මුණ්ඩ නම් රජුට මෙය කීයේය. “දේවයන් වහන්ස, දේවයන් වහන්සේ යමකට කල් හඟීද, දැන එයට සුදුසුය” යි ආයුෂ්මත් නාරද ස්ථවිරයන් විසින් කරණ ලද අවකාශ ඇත්තේමය” යි.
“එසේ වී නම්, යහළු පියකය, සොඳුරු සොඳුරු යානාවන් යොදවව” යි
“දේවයන් වහන්ස, එසේය” කියා පියක නම් කොෂ්ටාරක්‍ෂක තෙම මුණ්ඩ නම් රජුට පිළිවදන් දී, සොඳුරු සොඳුරු යානාවන් යොදවා මුණ්ඩ නම් රජුට මෙය කීයේය. “දේවයන් වහන්ස, ඔබ වහන්සේට සොඳුරු සොඳුරු යානාවෝ යොදවන ලදහ. දේවයන් වහන්සේ යමකට කල් හඟීද, එයට දැන් සුදුසුය” යි.
“ඉක්බිති මුණ්ඩ නම් රජ තෙම සොඳුරුවූ යානාවකට නැඟී, සොඳුරු යානාවන් සමග කුක්කුටාරාමය යම් තැනෙක්හිද, එතැනට මහත්වූ රාජානුභාවයෙන් යුක්තව ආයුෂ්මත් නාරද ස්ථවිරයන් වහන්සේ දැකීම පිණිස පැමිණියේය. යානයට භූමිය යම්තාක් වේද, ඒතාක් යානාවෙන් ගොස් යානාවෙන් බැස පයින් ගමන් ඇත්තේම ආරාමයට ඇතුළුවූයේය.
ඉක්බිති මුණ්ඩ නම් රජ තෙම ආයුෂ්මත් නාරද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් නාරද ස්ථවිරයන් වහන්සේට සකස්කොට වැඳ එකත්පස්ව හුන්නේය. “එකත්පස්ව හුන්නාවූම මුණ්ඩ නම් රජුට ආයුෂ්මත් නාරද ස්ථවිරයන් වහන්සේ මෙය වදාළ සේක.
“මහරජ, ශ්‍රමණයෙකු විසින් හෝ, බ්‍රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්‍රහ්මයෙකු විසින් හෝ, ලෝකයෙහි කිසිවෙකු විසිනුත් නොලැබිය හැක්කාවූ මේ කරුණු පසක් වෙත්. කවර පසක්ද යත්?
“ජරා ධර්‍මය නොදිරාවායි, “ශ්‍රමණයෙකු විසින් හෝ, බ්‍රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්‍රහ්මයෙකු විසින් හෝ, ලෝකයෙහි කිසිවෙකු විසිනුත් නොලැබිය හැකි කරුණක් වේ.
“ව්‍යාධි ධර්‍මය නොපෙලාවායි ශ්‍රමණයෙකු විසින් හෝ, බ්‍රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්‍රහ්මයෙකු විසින් හෝ, ලෝකයෙහි කිසිවෙකු විසිනුත් නොලැබිය හැකි කරුණක් වේ. මරණ ධර්‍මය නොමියේවායි ශ්‍රමණයෙකු විසින් හෝ, බ්‍රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්‍රහ්මයෙකු විසින් හෝ, ලෝකයෙහි කිසිවෙකු විසිනුත් නොලැබිය හැකි කරුණක් වේ. ක්‍ෂය ධර්‍මය ක්‍ෂය නොවේවායි ශ්‍රමණයෙකු විසින් හෝ, බ්‍රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්‍රහ්මයෙකු විසින් හෝ, ලෝකයෙහි කිසිවෙකු විසිනුත් නොලැබිය හැකි කරුණක් වේ. නැසෙන ධර්‍මය නොනසීවායි, ශ්‍රමණයෙකු විසින් හෝ, බ්‍රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්‍රහ්මයෙකු විසින් හෝ, ලෝකයෙහි කිසිවෙකු විසිනුත් නොලැබිය හැකි කරුණක් වේ.