5. 1. 5. 3.
3. ඉඨ ධම්ම සූත්රය
[සාවත්ථි නිදානයි]
43. “එකල්හි වනාහි අනේපිඬු මහ සිටු තෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූ අනේපිඬු මහ සිටුහට භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“ගෘහපතිය, ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, මේ ලෝකයෙහි දුර්ලභ කරුණු පසක් වෙත්. කවර පසක්ද යත්?
“ගෘහපතිය, ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ආයුෂය තෙම ලෝකයෙහි දුර්ලභ වේ. ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ශරීර වර්ණය තෙම ලෝකයෙහි දුර්ලභ වේ. ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, සැපය ලෝකයෙහි දුර්ලභ වේ. ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, යශස ලෝකයෙහි දුර්ලභ වේ. ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ස්වර්ග සැපයෝ ලෝකයෙහි දුර්ලභ වෙත්.
“ගෘහපතිය, මොහු වනාහි ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ලෝකයෙහි දුර්ලභවූ කරුණු පස වෙත්.
“ගෘහපතිය, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ලෝකයෙහි දුර්ලභවූ මේ පඤ්ච ධර්මයන්ගේ යාඥා කිරීම් හේතුවෙන් හෝ ප්රාර්ත්ථනා හේතුවෙන් හෝ ලැබීම නොකියමි. ගෘහපතිය, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ලෝකයෙහි දුර්ලභවූ මේ පස් වැදෑරුම්වූ කාරණයන්ගේ ආයාචනා හේතුවෙන් හෝ ප්රාර්ත්ථනා හේතුවෙන් හෝ ලැබිමක් වන්නේ නම් මේ ලෝකයෙහි කවරෙක් කුමකට භය වන්නේද?
“ගෘහපතිය, ආර්ය්ය ශ්රාවක තෙම ආයුෂය කැමැත්තේ ආයුෂය යාඥා කරන්නට හෝ ආයුෂයට සතුටුවන්ට හෝ. ආයුෂයට කැමතිවන්ට හෝ නොම සුදුසුයි. ගෘහපතිය, ආයුෂය කැමතිවූ ආර්ය්ය ශ්රාවකයා විසින් ආයුෂ පිණිස පවත්නාවූ කුශල ප්රතිපදාව පිළිපැදිය යුතුයි. ආයුෂය පිණිස පවත්නාවූ, පිළිපන්නාවූ, මොහුගේ කුශල ප්රතිපදාව වනාහි ආයුෂය ලැබීම පිණිස පවතියි. හෙතෙම දිව්යවූ හෝ මනුෂ්යවූ හෝ ආයුෂය ලබන්නේ වෙයි.
“ගෘහපතිය, ආර්ය්ය ශ්රාවක තෙම වර්ණය කැමැත්තේ වර්ණය යාඥා කරන්නට හෝ සතුටුවන්ට හෝ. වර්ණයට කැමතිවන්ට හෝ නොම සුදුසුයි. ගෘහපතිය, වර්ණය කැමැත්තාවූ ආර්ය්ය ශ්රාවකයා විසින් වර්ණය පිණිස පවත්නාවූ ප්රතිපදාව පිළිපැදිය යුතුයි. මොහු විසින් පිළිපන්නාවූ වර්ණය පිණිස පවත්නාවූ, ප්රතිපදාව වනාහි වර්ණය ලැබීම පිණිස පවතියි. හෙතෙම දිව්යවූ හෝ මනුෂ්යවූ හෝ වර්ණය ලබන්නේ වෙයි.
“ගෘහපතිය, ආර්ය්ය ශ්රාවක තෙම සැප කැමැත්තේ සැපය යාඥා කරන්ට හෝ සතුටුවන්ට හෝ. සැපයට කැමතිවන්ට හෝ නොම සුදුසුයි. ගෘහපතිය, සැප කැමැත්තාවූ ආර්ය්ය ශ්රාවකයා විසින් සැපය පිණිස පවත්නාවූ කුශල ප්රතිපදාව පිළිපැදිය යුතුයි. මොහු විසින් පිළිපන්නාවූ සැපය පිණිස පවත්නා කුශල ප්රතිපදාව වනාහි සැප ලැබීම පිණිස පවතියි. හෙතෙම දිව්යවූ හෝ මනුෂ්යවූ හෝ සැපය ලබන්නේ වෙයි.
“ගෘහපතිය, ආර්ය්ය ශ්රාවක තෙමේ මේ යශස් කැමැත්තේ යශස යාඥා කරන්ට හෝ සතුටුවන්ට හෝ. යශසට කැමතිවන්ට හෝ නොම සුදුසුයි. ගෘහපතිය, යශස් කැමැත්තාවූ ආර්ය්ය ශ්රාවකයා විසින් යශස් පිණිස පවත්නාවූ කුශල ප්රතිපදාව පිළිපැදිය යුතුයි. මොහු විසින් පිළිපන්නාවූ යශස් පිණිස පවත්නාවූ කුශල ප්රතිපදාව වනාහි යශස් ලැබීම පිණිස පවතියි. හෙතෙම දිව්යවූ හෝ මනුෂ්යවූ හෝ යශස ලබන්නේ වෙයි.
“ගෘහපතිය, ආර්ය්ය ශ්රාවක තෙම ස්වර්ග සැප කැමැත්තේ ස්වර්ග සැපය යාඥා කරන්ට හෝ සතුටුවන්ට හෝ. ස්වර්ග සැපය කැමතිවන්ට හෝ නොම සුදුසුයි. ගෘහපතිය, ස්වර්ග සැප කැමැත්තාවූ ආර්ය්ය ශ්රාවකයා විසින් ස්වර්ග සැපය පිණිස පවත්නාවූ කුශල ප්රතිපදාව පිළිපැදිය යුතුයි. මොහු විසින් පිළිපන්නාවූ ස්වර්ග සැපය පිණිස පවත්නා කුශල ප්රතිපදාව වනාහි ස්වර්ග සැප ලැබීම පිණිස පවතියි. හෙතෙම ස්වර්ග සැප ලබන්නේ වේය” යි වදාළ සේක.
43. ආයුං වණ්ණං යසං කිත්තිං සග්ගං උච්චාකුලීනතං,
රතියො පත්ථයානෙන උළාරා අපරාපරං,
රතියො පත්ථයානෙන උළාරා අපරාපරං,
44. පුණ්ය ක්රියාවන්හි ප්රමාද නොවීම නුවණැත්තෝ පසසත්. අප්රමාදවූ නුවණැත්තේ දෙලොව අර්ත්ථයන් ලබයි.
45. මේ ආත්මයෙහිම යම් අර්ත්ථයක් වේද, පරලොව වන්නාවූ යම් අර්ත්ථයකුත් වේද. අර්ත්ථය ලැබීමෙන් ප්රාඥ තෙම පණ්ඩිතයායයි කියනු ලැබේ.
5. 1. 5. 4.
4. මනාපදායී සූත්රය
44. “එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ විසල් නුවර මහ වනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්යවතුන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳ පොරවා පා සිව්රු ගෙණ, විසල් නුවර වැසිවූ උග්ග නම් සිටුහුගේ ගෘහය යම් තැනෙක්හිද, එතැනට පැමිණි සේක. පැමිණ, පනවන ලද අස්නෙහි වැඩ හුන් සේක. ඉක්බිති විසල් නුවර වැසි උග්ග නම් සිටු තෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ ට සකස්කොට වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම විසල් නුවර වැසි උග්ග නම් සිටු තෙම භාග්යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
“ස්වාමීනි, මනාපවූ දෙයක් දෙන තැනැත්තේ මනාපවූ දෙයක් ලබයි, යන මෙය භාග්යවතුන් වහන්සේගේ හමුවෙහි අසන ලදී. භාග්යවතුන් වහන්සේගේ හමුවෙහි පිළිගන්නා ලදී. ස්වාමීනි, සල් මල් මෙන් සාදන ලද කෑම මට මනාප වේ. මාගේ ඒ කෑම භාග්යවතුන් වහන්සේ අනුකම්පා පිණිස පිළි ගන්නා සේක්වා” යි. භාග්යවතුන් වහන්සේ අනුකම්පා පිණිස එය පිළිගත් සේක.
“ස්වාමීනි, මනාපවූ දෙයක් දෙන තැනැත්තේ මනාපවූ දෙයක් ලබයි, යන මෙය භාග්යවතුන් වහන්සේගේ හමුවෙහි අසන ලදී. භාග්යවතුන් වහන්සේගේ හමුවෙහි පිළිගන්නා ලදී. ස්වාමීනි, මිහිරි ඩෙබර ඵල සහිතවූ, පස්ගෝරස සහිතවූ භෝජනය මට මනාප වේ. මාගේ එය භාග්යවතුන් වහන්සේ අනුකම්පා පිණිස පිළි ගන්නා සේක්වා” යි. භාග්යවතුන් වහන්සේ අනුකම්පා පිණිස පිළිගත් සේක.