5. 1. 5. 2.
2. සප්පුරිස සූත්‍රය
[සාවත්ථි නිදානයි]
42. “මහණෙනි, කුලයෙහි උපදිනු ලබන්නාවූ සත්පුරුෂ තෙම බොහෝ දෙනාට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස වේ. මව්පියන්ට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස වේ. අඹුදරුවන්ට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස වේ. දැසිදස් කම්කරු පුරුෂයන්ට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස වේ. මිත්‍රාමාත්‍යයන්ට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස වේ. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස වේ.
“මහණෙනි, යම්සේ මහත්වූ වර්‍ෂාව සියලු සත්ත්‍වයන් සම්පාදනය කරමින් බොහෝ දෙනාට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස වේද. මහණෙනි, එපරිද්දෙන්ම මහණෙනි, කුලයෙහි උපදිනු ලබන්නාවූ සත්පුරුෂ තෙම බොහෝ දෙනාට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස වේ. මව්පියන්ට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස වේ. අඹුදරුවන්ට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස වේ. දැසිදස් කම්කරු පුරුෂයන්ට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස වේ. මිත්‍රාමාත්‍යයන්ට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස වේ. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස වේ.
41. හිතො බහුන්නං පටිපජ්ජ භොගෙ තං දෙවතා රක්ඛති දෙවගුත්තං,
බහුස්සුතං සීලවතූපපන්නං ධම්මෙ ඨිතං න විජහාති කිත්ති.
42. ධම්මට්ඨං සීලසම්පන්නං සච්චවාදිං හිරීමනං,
නෙක්ඛං ජම්බොනදස්සෙව කො තං නින්දිතුමරහති,
දෙවාපි නං පසංසන්ති බ්රහ්මුනාපි පසංසිතොති.
5. 1. 5. 3.
3. ඉඨ ධම්ම සූත්‍රය
[සාවත්ථි නිදානයි]
43. “එකල්හි වනාහි අනේපිඬු මහ සිටු තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූ අනේපිඬු මහ සිටුහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“ගෘහපතිය, ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, මේ ලෝකයෙහි දුර්ලභ කරුණු පසක් වෙත්. කවර පසක්ද යත්?
“ගෘහපතිය, ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ආයුෂය තෙම ලෝකයෙහි දුර්ලභ වේ. ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ශරීර වර්‍ණය තෙම ලෝකයෙහි දුර්ලභ වේ. ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, සැපය ලෝකයෙහි දුර්ලභ වේ. ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, යශස ලෝකයෙහි දුර්ලභ වේ. ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ස්වර්‍ග සැපයෝ ලෝකයෙහි දුර්ලභ වෙත්.
“ගෘහපතිය, මොහු වනාහි ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ලෝකයෙහි දුර්ලභවූ කරුණු පස වෙත්.
“ගෘහපතිය, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ලෝකයෙහි දුර්ලභවූ මේ පඤ්ච ධර්‍මයන්ගේ යාඥා කිරීම් හේතුවෙන් හෝ ප්‍රාර්ත්‍ථනා හේතුවෙන් හෝ ලැබීම නොකියමි. ගෘහපතිය, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ලෝකයෙහි දුර්ලභවූ මේ පස් වැදෑරුම්වූ කාරණයන්ගේ ආයාචනා හේතුවෙන් හෝ ප්‍රාර්ත්‍ථනා හේතුවෙන් හෝ ලැබිමක් වන්නේ නම් මේ ලෝකයෙහි කවරෙක් කුමකට භය වන්නේද?
“ගෘහපතිය, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ආයුෂය කැමැත්තේ ආයුෂය යාඥා කරන්නට හෝ ආයුෂයට සතුටුවන්ට හෝ. ආයුෂයට කැමතිවන්ට හෝ නොම සුදුසුයි. ගෘහපතිය, ආයුෂය කැමතිවූ ආර්‍ය්‍ය ශ්‍රාවකයා විසින් ආයුෂ පිණිස පවත්නාවූ කුශල ප්‍රතිපදාව පිළිපැදිය යුතුයි. ආයුෂය පිණිස පවත්නාවූ, පිළිපන්නාවූ, මොහුගේ කුශල ප්‍රතිපදාව වනාහි ආයුෂය ලැබීම පිණිස පවතියි. හෙතෙම දිව්‍යවූ හෝ මනුෂ්‍යවූ හෝ ආයුෂය ලබන්නේ වෙයි.
“ගෘහපතිය, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම වර්‍ණය කැමැත්තේ වර්‍ණය යාඥා කරන්නට හෝ සතුටුවන්ට හෝ. වර්‍ණයට කැමතිවන්ට හෝ නොම සුදුසුයි. ගෘහපතිය, වර්‍ණය කැමැත්තාවූ ආර්‍ය්‍ය ශ්‍රාවකයා විසින් වර්‍ණය පිණිස පවත්නාවූ ප්‍රතිපදාව පිළිපැදිය යුතුයි. මොහු විසින් පිළිපන්නාවූ වර්‍ණය පිණිස පවත්නාවූ, ප්‍රතිපදාව වනාහි වර්‍ණය ලැබීම පිණිස පවතියි. හෙතෙම දිව්‍යවූ හෝ මනුෂ්‍යවූ හෝ වර්‍ණය ලබන්නේ වෙයි.
“ගෘහපතිය, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම සැප කැමැත්තේ සැපය යාඥා කරන්ට හෝ සතුටුවන්ට හෝ. සැපයට කැමතිවන්ට හෝ නොම සුදුසුයි. ගෘහපතිය, සැප කැමැත්තාවූ ආර්‍ය්‍ය ශ්‍රාවකයා විසින් සැපය පිණිස පවත්නාවූ කුශල ප්‍රතිපදාව පිළිපැදිය යුතුයි. මොහු විසින් පිළිපන්නාවූ සැපය පිණිස පවත්නා කුශල ප්‍රතිපදාව වනාහි සැප ලැබීම පිණිස පවතියි. හෙතෙම දිව්‍යවූ හෝ මනුෂ්‍යවූ හෝ සැපය ලබන්නේ වෙයි.