5. 1. 5. 1.
1. භොගාදිය සූත්‍රය
41. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු මහ සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි අනේපිඬු මහ සිටු තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූ අනේපිඬු මහ සිටුහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“ගෘහපතිය, මේ සම්පත් ලැබියයුතු කරුණු පසක් වෙත්. කවර පසක්ද යත්?
“ගෘහපතිය, මේ ලෝකයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම උත්‍ථාන වීර්‍ය්‍යයෙන් ලබන ලද්දාවූ, බාහු බලයෙන් රැස් කරණ ලද්දාවූ, දාඩිය වැගිරීම් ඇත්තාවූ, දැහැමිවූ, දැහැමෙන් ලබන ලද්දාවූ සම්පත්වලින් තමා සුවපත් කරයි. පිණවයි. මනාකොට සුවසේ පරිහරණය කරයි. මව්පියන් සුවපත් කරයි. පිණවයි. මනාකොට සුවසේ පරිහරණය කරයි. අඹුදරුවන් හා දැසිදස් කම්කරු පුරුෂයන් සුවපත් කරයි. පිණවයි. මනාකොට සුවසේ පරිහරණය කරයි. මේ පළමුවන සම්පත් ලැබිය යුතු කරුණ වේ.
“නැවත අනිකක්ද කිමි. ගෘහපතිය, මේ ලෝකයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම උත්‍ථාන වීර්‍ය්‍යයෙන් ලබන ලද්දාවූ, බාහු බලයෙන් රැස් කරණ ලද්දාවූ, දාඩිය වැගිරීම් ඇත්තාවූ, දැහැමිවූ, දැහැමෙන් ලබන ලද්දාවූ සම්පත්වලින් මිත්‍රාමාත්‍යයන් සැපවත් කරයි. පිණවයි. මනාකොට සැපසේ පරිහරණය කරයි. මේ දෙවන සම්පත් රැස්කළයුතු කරුණ වේ.
“නැවත අනිකක්ද කියමි. ගෘහපතිය, මේ ලෝකයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම උත්‍ථාන වීර්‍ය්‍යයෙන් ලබන ලද්දාවූ, බාහු බලයෙන් රැස් කරණ ලද්දාවූ, දාඩිය වැගිරීම් ඇත්තාවූ, දැහැමිවූ, දැහැමෙන් ලබන ලද්දාවූ සම්පත්වලින් ගින්නෙන් හෝ, දියෙන් හෝ, රජුන්ගෙන් හෝ, සොරුගෙන් හෝ, අප්‍රිය දායාදයන්ගෙන් හෝ යම් ඒ විපත් වෙද්ද, එබඳු විපත්වලදී සම්පත්වලින් වසාගෙන පවතියි. තමා සුවපත් කෙරෙයි. මේ තුන්වන සම්පත් ලැබියයුතු කරුණ වේ.
“නැවත අනිකක්ද කියමි. ගෘහපතිය, මේ ලෝකයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම උත්‍ථාන වීර්‍ය්‍යයෙන් ලබන ලද්දාවූ, බාහු බලයෙන් රැස් කරණ ලද්දාවූ, දාඩිය වැගිරීම් ඇත්තාවූ, දැහැමිවූ, දැහැමෙන් ලබන ලද්දාවූ සම්පත්වලින් පිදවිලි පසක් කරන්නේ වෙයි. නෑයින්ට දිය යුතු පූජාවය. ආගන්තුගයන්ට කටයුතු පූජාවය. පළමු පරලොව ගියවුන්ට කළයුතු පූජාවය. රජුන්ට දියයුතු පූජාවය. දේවතාවන්ට දියයුතු පූජාවය යන පසයි. මේ සතරවන සම්පත් ලැබියයුතු කරුණ වේ.
“නැවත අනිකක්ද කියමි. ගෘහපතිය, මේ ලෝකයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම උත්‍ථාන වීර්‍ය්‍යයෙන් ලබන ලද්දාවූ, බාහු බලයෙන් රැස් කරණ ලද්දාවූ, දාඩිය වැගිරීම් ඇත්තාවූ, දැහැමිවූ, දැහැමෙන් ලබන ලද්දාවූ සම්පත්වලින් මදයෙන් හා ප්‍රමාදයෙන් වැළකුණාවූ, ක්‍ෂාන්තිය හා සුරත භාවයෙහි ඇතුළත්වූ, යම් මේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ එකළාව තමන් දමනය කෙරෙද්ද, එකළාව තමන් සංසිඳුවද්ද, එකළාව තමන් පිරිනිවෙද්ද, එබඳුවූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහි මතුමත්තෙහි සැප විපාක දෙන්නාවූ, ස්වර්‍ගයට හිතවූ සැප විපාක ඇත්තාවූ, ස්වර්‍ග සැපය පිණිස පවත්නාවූ දක්‍ෂිණාව පිහිටුවයි. මේ පස්වන සම්පත් රැස්කළයුතු කරුණ වේ.
“ගෘහපතිය, මොහු වනාහි සම්පත් රැස්කළයුතු කරුණු පස වෙත්.
“ගෘහපතිය, ඉදින් මේ සම්පත් ලැබියයුතු කරුණු පස ගනිමින් පැවතුනාවූ ඒ ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ සම්පත් විනාශයට යෙද්ද, ඔහුට මෙබඳු සිතක් වෙයි. ‘එකාන්තයෙන් සම්පත් ලැබියයුතු යම් කරුණු වෙද්ද, ඔවුන්ද මම ගත්තෙමි. මාගේ සම්පත්ද විනාශයට යෙත්ය’ යි මෙසේ මොහුට විපිළිසර නොවීමක් වන්නේය. ගෘහපතිය, ඉදින් සම්පත් ලැබියයුතු මේ කරුණු පස පිළිපදින්නාවූ ඒ ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ සම්පත් මනාව වැඩෙද්ද, ඔහුට මෙබඳු සිතක් වෙයි. ‘ඒකාන්තයෙන් සම්පත් ලැබියයුතු යම් කරුණු වෙද්ද, ඔවුන්ද මම පිළිපදිමියි මාගේ සම්පත්ද මනාව වැඩෙත්ය’ යි මෙසේ මොහුට කරුණු දෙකින්ම විපිළිසර නොවීම වේය.
38. භුත්තා භොගා භතා භච්චා විතිණ්ණා ආපදාසු මෙ,
උද්ධතො දක්ඛිණා දින්නා අථො පඤ්ච බලී කතා.
උපට්ඨිතා සීලවන්තො සඤ්ඤතා බ්රහ්මචාරයො.
39. යදත්ථං භොගං ඉච්ඡෙය්ය පණ්ඩිතො ඝරමාවසං,
සො මෙ අත්ථො අනුප්පත්තො කතං අනනුතප්පියං.
40. එතං අනුස්සරං මච්චො අරියධම්මෙ ඨිතො නරො,
ඉධෙව නං පසංසන්ති පෙච්ච සග්ගෙ පමොදතීති.
5. 1. 5. 2.
2. සප්පුරිස සූත්‍රය
[සාවත්ථි නිදානයි]
42. “මහණෙනි, කුලයෙහි උපදිනු ලබන්නාවූ සත්පුරුෂ තෙම බොහෝ දෙනාට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස වේ. මව්පියන්ට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස වේ. අඹුදරුවන්ට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස වේ. දැසිදස් කම්කරු පුරුෂයන්ට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස වේ. මිත්‍රාමාත්‍යයන්ට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස වේ. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස වේ.
“මහණෙනි, යම්සේ මහත්වූ වර්‍ෂාව සියලු සත්ත්‍වයන් සම්පාදනය කරමින් බොහෝ දෙනාට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස වේද. මහණෙනි, එපරිද්දෙන්ම මහණෙනි, කුලයෙහි උපදිනු ලබන්නාවූ සත්පුරුෂ තෙම බොහෝ දෙනාට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස වේ. මව්පියන්ට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස වේ. අඹුදරුවන්ට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස වේ. දැසිදස් කම්කරු පුරුෂයන්ට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස වේ. මිත්‍රාමාත්‍යයන්ට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස වේ. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස වේ.
41. හිතො බහුන්නං පටිපජ්ජ භොගෙ තං දෙවතා රක්ඛති දෙවගුත්තං,
බහුස්සුතං සීලවතූපපන්නං ධම්මෙ ඨිතං න විජහාති කිත්ති.
42. ධම්මට්ඨං සීලසම්පන්නං සච්චවාදිං හිරීමනං,
නෙක්ඛං ජම්බොනදස්සෙව කො තං නින්දිතුමරහති,
දෙවාපි නං පසංසන්ති බ්රහ්මුනාපි පසංසිතොති.