5. 1. 4. 9.
පුත්ත සූත්රය
39. “මහණෙනි, මේ කරුණු පසක් දක්නාවූ මව්පියෝ කුලයෙහි උපදින්නා වූ පුත්රයා කැමති වෙත්. කවර පසක්ද;
පෝෂණය කරන ලද්දේ හෝ අප පෝෂණය කරන්නේය. අපගේ කටයුත්ත හෝ කරන්නේය. කුලවංශය බොහෝ කල් පවත්නේය. දායාදය පිළිපදනේය. තවද, කළුරිය කළාවූ පරලොව ගියවුන්ට දානය දෙන්නේය යන පසයි. මහණෙනි, මේ කරුණු පස වනාහි දක්නාවූ මවුපියෝ කුලයෙහි උපදින්නාවූ පුත්රයා කැමති වෙත්ය” යි වදාළ සේක.
29. “නුවණැත්තෝ කරුණු පසක් දකිමින් පුතෙකු කැමති වෙත්. පෝෂණය කරන ලද්දේ හෝ අප පෝෂණය කරන්නේය. අපගේ කටයුත්ත හෝ කරන්නේය.
30. “කුල වංශය බොහෝ කල් පවත්නේය. දායාදය පිළිපදනේය. තවද, පරලොව ගියවුන්ට දක්ෂිණාව දෙන්නේය.
31. “නුවණැත්තෝ මේ කරුණු පස දකිමින් පුත්රයෙකු කැමති වෙත්. එහෙයින් කෘතඥවූ, කළ උපකාර දන්නාවූ, ශාන්තවූ සත්පුරුෂයෝ
32. “පෙර කළ උපකාර සිහි කරමින් මව්පියන් පෝෂණය කරත්. පූර්ව උපකාර ඇත්තාවූ ඔවුන්ගේ කටයුතු ඒ වූ පරිද්දෙන් කරත්.
33. “මවුපියන්ගේ අවවාදය කරන්නාවූ, තමන් පෝෂණය කළ මව්පියන් පෝෂණය කරන්නා වූ, කුළ වංශය නොපිරිහෙලන්නාවූ, ශ්රද්ධා ඇත්තාවූ, ශීලයෙන් යුක්තවූ පුත්ර තෙම පැසසිය යුතුවේය” යි වදාළ සේක.
5. 1. 4. 10.
මහාසාල සූත්රය
40. “මහණෙනි, හිමවත් පර්වත රාජයා ඇසුරුකොට මහත්වූ වෘක්ෂයෝ වැඩීම් පසකින් වැඩෙත්. කවර පසකින්ද යත්;
අතු හා කොළ දළු වලින් වැඩෙත්. සිවියෙන් වැඩෙත්. පතුරෙන් වැඩෙත්. ඵලයෙන් වැඩෙත්. හරයෙන් වැඩෙත්. මහණෙනි, හිමවත් පර්වත රාජයා ඇසුරුකොට මහා වෘක්ෂයෝ මේ වැඩීම් පසෙන් වැඩෙත්.
“මහණෙනි, මෙපරිද්දෙන්ම ශ්රද්ධාව ඇති කුල පුත්රයා ඇසුරුකොට ඇතුළත් ජන තෙම වැඩීම් පසකින් වැඩෙයි.
“කවර පසකින්ද යත්; ශ්රද්ධාවෙන් වැඩෙයි. ශීලයෙන් වැඩෙයි. ශ්රුතයෙන් වැඩෙයි. ත්යාගයෙන් වැඩෙයි. ප්රඥාවෙන් වැඩෙයි. මහණෙනි, මෙපරිද්දෙන්ම ශ්රද්ධාව ඇති කුල පුත්රයා ඇසුරුකොට ඇතුළත් ජන තෙම වැඩීම් පසකින් වැඩෙයි.
34. “ගම් නැති පෙදෙසෙහිවූ මහත්වූ වනයෙහි ශෛල පර්වතයක් යම් සේ වෙද්ද, එය ඇසුරුකොට ඒ වනදෙටු වෘක්ෂයෝ යම් සේ වැඩෙද්ද,
35. “එසේම, මේ ලෝකයෙහි ශීලයෙන් යුක්තවූ, ශ්රද්ධාව ඇති කුලපතියා ඇසුරුකොට අඹුදරුවෝද, නෑයෝද වැඩෙත්. ඇමතියෝද, ඤාති සමූහයාද යන මොහුට අනුව ජීවත් වන්නාවූ යම් කෙනෙක් වෙද්ද,
36. “ඔවුහු සිල්වත්වූ මොහුගේ සීලයද, ත්යාගයද, සුචරිතයන්ද දකිමින් ඒ අනුව කටයුතු කෙරෙත්. නුවණැත්තාවූ යම් කෙනෙක් වෙද්ද, ඔවුහු,
37. “මෙලොව සුගතියට යන මාර්ගයවූ කුශල ධර්මයෙහි හැසිර, දෙව් ලොව කම් සැපයෙන් කැමති වන්නාහු. ප්රීතිවන්නාහු, සතුටුවෙත්ය” යි වදාළ සේක.
සතරවන සුමනා වර්ගය නිමි.
එහි උද්දානය:
සුමනා, චුන්දී, උග්ගහ, සීහ, දානානිසංස, කාලදාන, භෝජන, සද්ධා, පුත්ත සහ මහාසාල යන සූත්ර දසයයි.