5. 1. 4. 10.
මහාසාල සූත්රය
40. “මහණෙනි, හිමවත් පර්වත රාජයා ඇසුරුකොට මහත්වූ වෘක්ෂයෝ වැඩීම් පසකින් වැඩෙත්. කවර පසකින්ද යත්;
අතු හා කොළ දළු වලින් වැඩෙත්. සිවියෙන් වැඩෙත්. පතුරෙන් වැඩෙත්. ඵලයෙන් වැඩෙත්. හරයෙන් වැඩෙත්. මහණෙනි, හිමවත් පර්වත රාජයා ඇසුරුකොට මහා වෘක්ෂයෝ මේ වැඩීම් පසෙන් වැඩෙත්.
“මහණෙනි, මෙපරිද්දෙන්ම ශ්රද්ධාව ඇති කුල පුත්රයා ඇසුරුකොට ඇතුළත් ජන තෙම වැඩීම් පසකින් වැඩෙයි.
“කවර පසකින්ද යත්; ශ්රද්ධාවෙන් වැඩෙයි. ශීලයෙන් වැඩෙයි. ශ්රුතයෙන් වැඩෙයි. ත්යාගයෙන් වැඩෙයි. ප්රඥාවෙන් වැඩෙයි. මහණෙනි, මෙපරිද්දෙන්ම ශ්රද්ධාව ඇති කුල පුත්රයා ඇසුරුකොට ඇතුළත් ජන තෙම වැඩීම් පසකින් වැඩෙයි.
34. “ගම් නැති පෙදෙසෙහිවූ මහත්වූ වනයෙහි ශෛල පර්වතයක් යම් සේ වෙද්ද, එය ඇසුරුකොට ඒ වනදෙටු වෘක්ෂයෝ යම් සේ වැඩෙද්ද,
35. “එසේම, මේ ලෝකයෙහි ශීලයෙන් යුක්තවූ, ශ්රද්ධාව ඇති කුලපතියා ඇසුරුකොට අඹුදරුවෝද, නෑයෝද වැඩෙත්. ඇමතියෝද, ඤාති සමූහයාද යන මොහුට අනුව ජීවත් වන්නාවූ යම් කෙනෙක් වෙද්ද,
36. “ඔවුහු සිල්වත්වූ මොහුගේ සීලයද, ත්යාගයද, සුචරිතයන්ද දකිමින් ඒ අනුව කටයුතු කෙරෙත්. නුවණැත්තාවූ යම් කෙනෙක් වෙද්ද, ඔවුහු,
37. “මෙලොව සුගතියට යන මාර්ගයවූ කුශල ධර්මයෙහි හැසිර, දෙව් ලොව කම් සැපයෙන් කැමති වන්නාහු. ප්රීතිවන්නාහු, සතුටුවෙත්ය” යි වදාළ සේක.
සතරවන සුමනා වර්ගය නිමි.
එහි උද්දානය:
සුමනා, චුන්දී, උග්ගහ, සීහ, දානානිසංස, කාලදාන, භෝජන, සද්ධා, පුත්ත සහ මහාසාල යන සූත්ර දසයයි.
5. මුණ්ඩරාජ වර්ගය
5. 1. 5. 1.
1. භොගාදිය සූත්රය
41. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු මහ සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි අනේපිඬු මහ සිටු තෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූ අනේපිඬු මහ සිටුහට භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“ගෘහපතිය, මේ සම්පත් ලැබියයුතු කරුණු පසක් වෙත්. කවර පසක්ද යත්?
“ගෘහපතිය, මේ ලෝකයෙහි ආර්ය්ය ශ්රාවක තෙම උත්ථාන වීර්ය්යයෙන් ලබන ලද්දාවූ, බාහු බලයෙන් රැස් කරණ ලද්දාවූ, දාඩිය වැගිරීම් ඇත්තාවූ, දැහැමිවූ, දැහැමෙන් ලබන ලද්දාවූ සම්පත්වලින් තමා සුවපත් කරයි. පිණවයි. මනාකොට සුවසේ පරිහරණය කරයි. මව්පියන් සුවපත් කරයි. පිණවයි. මනාකොට සුවසේ පරිහරණය කරයි. අඹුදරුවන් හා දැසිදස් කම්කරු පුරුෂයන් සුවපත් කරයි. පිණවයි. මනාකොට සුවසේ පරිහරණය කරයි. මේ පළමුවන සම්පත් ලැබිය යුතු කරුණ වේ.
“නැවත අනිකක්ද කිමි. ගෘහපතිය, මේ ලෝකයෙහි ආර්ය්ය ශ්රාවක තෙම උත්ථාන වීර්ය්යයෙන් ලබන ලද්දාවූ, බාහු බලයෙන් රැස් කරණ ලද්දාවූ, දාඩිය වැගිරීම් ඇත්තාවූ, දැහැමිවූ, දැහැමෙන් ලබන ලද්දාවූ සම්පත්වලින් මිත්රාමාත්යයන් සැපවත් කරයි. පිණවයි. මනාකොට සැපසේ පරිහරණය කරයි. මේ දෙවන සම්පත් රැස්කළයුතු කරුණ වේ.
“නැවත අනිකක්ද කියමි. ගෘහපතිය, මේ ලෝකයෙහි ආර්ය්ය ශ්රාවක තෙම උත්ථාන වීර්ය්යයෙන් ලබන ලද්දාවූ, බාහු බලයෙන් රැස් කරණ ලද්දාවූ, දාඩිය වැගිරීම් ඇත්තාවූ, දැහැමිවූ, දැහැමෙන් ලබන ලද්දාවූ සම්පත්වලින් ගින්නෙන් හෝ, දියෙන් හෝ, රජුන්ගෙන් හෝ, සොරුගෙන් හෝ, අප්රිය දායාදයන්ගෙන් හෝ යම් ඒ විපත් වෙද්ද, එබඳු විපත්වලදී සම්පත්වලින් වසාගෙන පවතියි. තමා සුවපත් කෙරෙයි. මේ තුන්වන සම්පත් ලැබියයුතු කරුණ වේ.
“නැවත අනිකක්ද කියමි. ගෘහපතිය, මේ ලෝකයෙහි ආර්ය්ය ශ්රාවක තෙම උත්ථාන වීර්ය්යයෙන් ලබන ලද්දාවූ, බාහු බලයෙන් රැස් කරණ ලද්දාවූ, දාඩිය වැගිරීම් ඇත්තාවූ, දැහැමිවූ, දැහැමෙන් ලබන ලද්දාවූ සම්පත්වලින් පිදවිලි පසක් කරන්නේ වෙයි. නෑයින්ට දිය යුතු පූජාවය. ආගන්තුගයන්ට කටයුතු පූජාවය. පළමු පරලොව ගියවුන්ට කළයුතු පූජාවය. රජුන්ට දියයුතු පූජාවය. දේවතාවන්ට දියයුතු පූජාවය යන පසයි. මේ සතරවන සම්පත් ලැබියයුතු කරුණ වේ.
“නැවත අනිකක්ද කියමි. ගෘහපතිය, මේ ලෝකයෙහි ආර්ය්ය ශ්රාවක තෙම උත්ථාන වීර්ය්යයෙන් ලබන ලද්දාවූ, බාහු බලයෙන් රැස් කරණ ලද්දාවූ, දාඩිය වැගිරීම් ඇත්තාවූ, දැහැමිවූ, දැහැමෙන් ලබන ලද්දාවූ සම්පත්වලින් මදයෙන් හා ප්රමාදයෙන් වැළකුණාවූ, ක්ෂාන්තිය හා සුරත භාවයෙහි ඇතුළත්වූ, යම් මේ ශ්රමණ බ්රාහ්මණයෝ එකළාව තමන් දමනය කෙරෙද්ද, එකළාව තමන් සංසිඳුවද්ද, එකළාව තමන් පිරිනිවෙද්ද, එබඳුවූ ශ්රමණ බ්රාහ්මණයන් කෙරෙහි මතුමත්තෙහි සැප විපාක දෙන්නාවූ, ස්වර්ගයට හිතවූ සැප විපාක ඇත්තාවූ, ස්වර්ග සැපය පිණිස පවත්නාවූ දක්ෂිණාව පිහිටුවයි. මේ පස්වන සම්පත් රැස්කළයුතු කරුණ වේ.
“ගෘහපතිය, මොහු වනාහි සම්පත් රැස්කළයුතු කරුණු පස වෙත්.