5. 1. 4. 8.
සද්ධා සූත්රය
38. “මහණෙනි, ශ්රද්ධාව ඇත්තාවූ කුලපුත්රයා කෙරෙහි මේ අනුසස් පසක් වෙත්. කවර පසක්ද යත්;
මහණෙනි, ලෝකයෙහි යම් ඒ ශාන්තවූ සත්පුරුෂයෝ වෙද්ද, ඔවුහු ශ්රද්ධා ඇත්තහුටම පළමුකොට අනුකම්පා කරන්නාහු, අනුග්රහ කරත්. එසේ ශ්රද්ධා නැත්තහුට නොකරත්. ශ්රද්ධා ඇත්තහු කරාම පැමිණෙන්නාහු, පළමුකොට පැමිණෙත්. ශ්රද්ධා නැත්තහු කරා එසේ නොපැමිණෙත්. පිළිගන්නාහු, ශ්රද්ධා ඇත්හුගේම දෙය්ය ධර්මය පළමුකොට පිළිගනිත්. ශ්රද්ධා නැත්තහුගේ එසේ නොගනිත්. ශ්රද්ධා ඇත්තහුටම ධර්මය දේශනා කරන්නාහු පළමුකොට දේශනා කෙරෙත්. ශ්රද්ධා නැත්තහුට එසේ නොකරත්. ශ්රද්ධා ඇත්තේ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දෙව්ලොව උපදියි.
මහණෙනි, මොහු වනාහි ශ්රද්ධා ඇති කුලපුත්රයා කෙරෙහිවූ අනුසස් පස වෙත්.
“මහණෙනි, යම් සේ යහපත් භූමියෙහි සතර මං සන්ධියෙක්හි මහත්වූ නුග රුකෙක් හාත්පස පක්ෂීන්ට පිළිසරණ වේද, මහණෙනි, එපරිද්දෙන්ම ශ්රද්ධාව ඇත්තාවූ කුලපුත්ර තෙම භික්ෂුය, භික්ෂුණීය, උපාසකය, උපාසිකාය යන බොහෝ දෙනාට පිළිසරණ වේය” යි වදාළ සේක.
24. “අතු හා කොළ, ගෙඩි ඇත්තාවූද, කඳින් යුක්තවූද, හටගත් මුල් ඇත්තාවූද, ඵලයෙන් යුක්තවූ, මහත්වූ වෘක්ෂය තෙම පක්ෂීන්ට පිහිට වෙයි.
25. “සිත් කළු ස්ථානයෙහිවූ ඒ රුක පක්ෂීහු සේවනය කරත්. සෙවන ප්රයෝජනකොට ඇත්තාහු, සෙවනට යෙත්. ඵලය ප්රයෝජනකොට ඇත්තාහු ඵල බුදින්නාහු වෙත්.
26. “එසේම ශීලයෙන් යුක්තවූ, උඩඟු නොවූ පැවතුම් ඇති, තද ගති නැත්තාවූ, සුරත භාවයෙන් යුක්තවූ, මෘදුවූ, ශ්රද්ධාව ඇති පුරුෂ පුද්ගලයා වූ,
27. “එබඳු මනුෂ්යයා ලෝකයෙහි පුන්යක්ෂෙත්රවූ, පහවූ රාග ඇති, පහවූ දෝෂ ඇති, පහවූ මෝහ ඇති, ආශ්රව රහිතවූ සත්පුරුෂයෝ සේවනය කරත්.
28. “උන්වහන්සේලා ඔහුට සියලු දුක් දුරු කරන්නාවූ යම් ධර්මයක් දේශනා කෙරෙද්ද, හෙතෙම මෙලොව ඒ ධර්මය දැන, ආශ්රව රහිතවූයේ පිරිනිවේය” යි වදාළ සේක.
5. 1. 4. 9.
පුත්ත සූත්රය
39. “මහණෙනි, මේ කරුණු පසක් දක්නාවූ මව්පියෝ කුලයෙහි උපදින්නා වූ පුත්රයා කැමති වෙත්. කවර පසක්ද;
පෝෂණය කරන ලද්දේ හෝ අප පෝෂණය කරන්නේය. අපගේ කටයුත්ත හෝ කරන්නේය. කුලවංශය බොහෝ කල් පවත්නේය. දායාදය පිළිපදනේය. තවද, කළුරිය කළාවූ පරලොව ගියවුන්ට දානය දෙන්නේය යන පසයි. මහණෙනි, මේ කරුණු පස වනාහි දක්නාවූ මවුපියෝ කුලයෙහි උපදින්නාවූ පුත්රයා කැමති වෙත්ය” යි වදාළ සේක.
29. “නුවණැත්තෝ කරුණු පසක් දකිමින් පුතෙකු කැමති වෙත්. පෝෂණය කරන ලද්දේ හෝ අප පෝෂණය කරන්නේය. අපගේ කටයුත්ත හෝ කරන්නේය.
30. “කුල වංශය බොහෝ කල් පවත්නේය. දායාදය පිළිපදනේය. තවද, පරලොව ගියවුන්ට දක්ෂිණාව දෙන්නේය.
31. “නුවණැත්තෝ මේ කරුණු පස දකිමින් පුත්රයෙකු කැමති වෙත්. එහෙයින් කෘතඥවූ, කළ උපකාර දන්නාවූ, ශාන්තවූ සත්පුරුෂයෝ
32. “පෙර කළ උපකාර සිහි කරමින් මව්පියන් පෝෂණය කරත්. පූර්ව උපකාර ඇත්තාවූ ඔවුන්ගේ කටයුතු ඒ වූ පරිද්දෙන් කරත්.
33. “මවුපියන්ගේ අවවාදය කරන්නාවූ, තමන් පෝෂණය කළ මව්පියන් පෝෂණය කරන්නා වූ, කුළ වංශය නොපිරිහෙලන්නාවූ, ශ්රද්ධා ඇත්තාවූ, ශීලයෙන් යුක්තවූ පුත්ර තෙම පැසසිය යුතුවේය” යි වදාළ සේක.