5. 1. 2. 4.
4. විත්‍ථත බල සූත්‍රය
14. “මහණෙනි, මේ බල පසක් වෙත්. කවර පසක්ද යත්? ශ්‍රද්‍ධා බලය, වීර්‍ය්‍ය බලය, ස්මෘති බලය, සමාධි බලය, ප්‍රඥා බලය යන පසයි.
“මහණෙනි, ශ්‍රද්ධා බලය කවරේ ද යත්: මහණෙනි, මෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ශ්‍රද්ධා ඇත්තේ වෙයි. තථාගතයන් වහන්සේගේ බෝධිය අදහා ගනී. ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන් ද අරහත් වන සේක ... දෙවිමිනිසුන්ට ශාස්තෘ වන සේක, බුද්ධ වන සේක, භගවා වන සේක’ කියා යි. මහණෙනි, මෙය ශ්‍රද්ධා බලය යි කියනු ලැබේ.”
“මහණෙනි, වීර්‍ය්‍ය බලය නම් කවරේද යත්? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම අකුශල ධර්මයන් දුරු කිරීම පිණිස, කුශල ධර්මයන් ඉපදවීම පිණිස, පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තේ, ශක්තිමත් වූයේ, දෘඪ වීර්‍ය්‍ය ඇත්තේ, කුශල ධර්මයන්හි බහා නොතබන ලද බර ඇත්තේ, වාසය කෙරේද, මහණෙනි, මේ වීර්‍ය්‍ය බලයයි කියණු ලැබේ.
“මහණෙනි, ස්මෘති බලය නම් කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම උතුම්වූ සිහියෙන් යුත් ප්‍රඥාවෙන් යුක්තවූයේ කළ බොහෝ කල් ඇත්තද, කී බොහෝ කල් ඇත්තද සිහි කරන්නේ, නැවත නැවත සිහි කරන්නේ සිහි ඇත්තේ වේද, මහණෙනි, මෙය ස්මෘති බලයයි කියනු ලැබේ.
“මහණෙනි, සමාධි බලය නම් කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙම කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්‍ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමා තුළ පැහැදීම් ඇති, සිතේ එකඟකම ඇති, විතර්‍ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති, ද්වීතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතියගේ වෙන්වීමෙන් උපේක්‍ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, කයින් සැපක් විඳියි. උපෙක්‍ෂා ඇති, සිහි ඇති, සැප විහරණයකැයි යමක් ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැප පහවීමෙන්ද, දුක පහවීමෙන්ද, සොම්නස, දොම්නස දෙක අස්තවීමට පෙර දුක් නැති, සැප නැති, උපෙක්‍ෂා සමෘති දෙදෙනාගේ පිරිසිදුකම ඇති, සතරවැනි ධ්‍යානයට පැමිණ වාසය කෙරේද, මහණෙනි, මේ සමාධි බලයයි කියනු ලැබේ.
“මහණෙනි, ප්‍රඥා බලය කවරේ ද යත්: මහණෙනි, මෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ප්‍රඥාවත් වෙයි. හටගැනීම හා විනාශය දක්නා වූ, උතුම් වූ, කෙලෙස් විනිවිදිනා වූ, මැනවින් දුක් ක්ෂය කිරීමට යන ප්‍රඥාවෙන් යුක්ත වෙයි. මහණෙනි, මෙය ප්‍රඥා බලය යි කියනු ලැබේ. මහණෙනි, මේ වනාහි බල පස වෙත්.”
5. 1. 2. 5.
5. දට්ඨබ්බ බල සූත්‍රය
15. “මහණෙනි, මේ බල පසක් වෙත්. කවර පසක්ද යත්? ශ්‍රද්‍ධා බලය, වීර්‍ය්‍ය බලය, ස්මෘති බලය, සමාධි බලය, ප්‍රඥා බලය යන පසයි.
“මහණෙනි, ශ්‍රද්‍ධා බලය නම් කොතැන්හි දත යුතුද? සිව් වැදෑරුම් සෝවාන් මාර්‍ගාඞ්ගයන්හි මෙහි ශ්‍රද්‍ධා බලය දත යුතුයි.
“මහණෙනි, වීර්‍ය්‍ය බලය නම් කොතැන්හි දත යුතුද? සතර සම්‍යක් ප්‍රධානයන්හි මෙහි කී වීර්‍ය්‍ය බලය දත යුතුයි.
“මහණෙනි, ස්මෘති බලය කොතැන්හි දත යුතුද? සතර සතිපට්ඨානයන්හි මෙහි ස්මෘති බලය දත යුතුයි.
“මහණෙනි, කොතැන්හි සමාධි බලය දත යුතුද? සතර ධ්‍යානයන්හි මෙහි කී සමාධි බලය දත යුතුයි.
“මහණෙනි, කොතැන්හි ප්‍රඥා බලය දත යුතුද? චතුරාර්‍ය්‍ය සත්‍යයන්හි මෙහි කී ප්‍රඥා බලය දත යුතුයි.
“මහණෙනි, මොහු වනාහි බල පස වෙත්ය” යි වදාළ සේක.
5. 1. 2. 6.
6. අග්ගබල සූත්‍රය
16. “මහණෙනි, මේ බල පසක් වෙත්. කවර පසක්ද යත්?
ශ්‍රද්‍ධා බලය, වීර්‍ය්‍ය බලය, ස්මෘති බලය, සමාධි බලය, ප්‍රඥා බලය යන පසයි. මහණෙනි, මේ වනාහි බල පසයි.
“මහණෙනි, මේ ශෛක්‍ෂ බල පස අතුරෙන් යම් මේ ප්‍රඥා බලයක් වේද, මෙය උතුම් වේ. මෙය සංග්‍රහ කිරීම ඇත්තක් වේ. මෙය ගැලපීම ඇත්තක් වේ.
“මහණෙනි, යම්සේ කුළුගෙයක යම් මේ කූටයක් හෙවත් මුදුනක් වේද, මෙය උතුම් වේද, මෙය සංග්‍රහ කිරීම ඇත්තක් වේද, මෙය ගැලපීම ඇත්තක් වේද,
“මහණෙනි, මෙපරිද්දෙන්ම මහණෙනි, මේ ශෛක්‍ෂ බල පස අතුරෙන් යම් මේ ප්‍රඥා බලයක් වේද, මෙය උතුම් වේ. මෙය සංග්‍රහ කිරීම ඇත්තක් වේ. මෙය ගැලපීම ඇත්තක් වේ.
5. 1. 2. 7.
7. අත්තහිත පටිපන්න සූත්‍රය
17. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම තමහට වැඩ පිණිස පිළිපන්නේ වෙයි. අනුන්ට වැඩ පිණිස නොවේ. කවර පසක්ද යත්?
“මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ශීලයෙන් යුක්තවූයේ වෙයිද, අන්‍යයා ශීල සම්පත්තියෙහි සමාදන් නොකරවාද, තෙමේ සමාධියෙන් යුක්තවූයේ වේද, අන්‍යයා සමාධි සම්පත්තියෙහි සමාදන් නොකරවාද, තෙමේ ප්‍රඥාවෙන් යුක්තවූයේ වේද, අන්‍යයා ප්‍රඥා සම්පත්තියෙහි සමාදන් නොකරවාද, තෙමේ විමුක්තියෙන් යුක්තවූයේ වේද, අන්‍යයා විමුක්ති සම්පත්තියෙහි සමාදන් නොකරවාද, තෙමේ විමුක්ති ඤාණ දර්‍ශණයෙන් යුක්තවූයේ වේද, අන්‍යයා විමුක්ති ඥාන දර්‍ශණ සම්පත්තියෙහි සමාදන් නොකරවාද,
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම තමහට වැඩ පිණිස පිළිපන්නේ වෙයි. අනුන්ට වැඩ පිණිස නොවේ.