5. 1. 2. 5.
5. දට්ඨබ්බ බල සූත්රය
15. “මහණෙනි, මේ බල පසක් වෙත්. කවර පසක්ද යත්? ශ්රද්ධා බලය, වීර්ය්ය බලය, ස්මෘති බලය, සමාධි බලය, ප්රඥා බලය යන පසයි.
“මහණෙනි, ශ්රද්ධා බලය නම් කොතැන්හි දත යුතුද? සිව් වැදෑරුම් සෝවාන් මාර්ගාඞ්ගයන්හි මෙහි ශ්රද්ධා බලය දත යුතුයි.
“මහණෙනි, වීර්ය්ය බලය නම් කොතැන්හි දත යුතුද? සතර සම්යක් ප්රධානයන්හි මෙහි කී වීර්ය්ය බලය දත යුතුයි.
“මහණෙනි, ස්මෘති බලය කොතැන්හි දත යුතුද? සතර සතිපට්ඨානයන්හි මෙහි ස්මෘති බලය දත යුතුයි.
“මහණෙනි, කොතැන්හි සමාධි බලය දත යුතුද? සතර ධ්යානයන්හි මෙහි කී සමාධි බලය දත යුතුයි.
“මහණෙනි, කොතැන්හි ප්රඥා බලය දත යුතුද? චතුරාර්ය්ය සත්යයන්හි මෙහි කී ප්රඥා බලය දත යුතුයි.
“මහණෙනි, මොහු වනාහි බල පස වෙත්ය” යි වදාළ සේක.
5. 1. 2. 6.
6. අග්ගබල සූත්රය
16. “මහණෙනි, මේ බල පසක් වෙත්. කවර පසක්ද යත්?
ශ්රද්ධා බලය, වීර්ය්ය බලය, ස්මෘති බලය, සමාධි බලය, ප්රඥා බලය යන පසයි. මහණෙනි, මේ වනාහි බල පසයි.
“මහණෙනි, මේ ශෛක්ෂ බල පස අතුරෙන් යම් මේ ප්රඥා බලයක් වේද, මෙය උතුම් වේ. මෙය සංග්රහ කිරීම ඇත්තක් වේ. මෙය ගැලපීම ඇත්තක් වේ.
“මහණෙනි, යම්සේ කුළුගෙයක යම් මේ කූටයක් හෙවත් මුදුනක් වේද, මෙය උතුම් වේද, මෙය සංග්රහ කිරීම ඇත්තක් වේද, මෙය ගැලපීම ඇත්තක් වේද,
“මහණෙනි, මෙපරිද්දෙන්ම මහණෙනි, මේ ශෛක්ෂ බල පස අතුරෙන් යම් මේ ප්රඥා බලයක් වේද, මෙය උතුම් වේ. මෙය සංග්රහ කිරීම ඇත්තක් වේ. මෙය ගැලපීම ඇත්තක් වේ.
5. 1. 2. 7.
7. අත්තහිත පටිපන්න සූත්රය
17. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්ෂු තෙම තමහට වැඩ පිණිස පිළිපන්නේ වෙයි. අනුන්ට වැඩ පිණිස නොවේ. කවර පසක්ද යත්?
“මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම ශීලයෙන් යුක්තවූයේ වෙයිද, අන්යයා ශීල සම්පත්තියෙහි සමාදන් නොකරවාද, තෙමේ සමාධියෙන් යුක්තවූයේ වේද, අන්යයා සමාධි සම්පත්තියෙහි සමාදන් නොකරවාද, තෙමේ ප්රඥාවෙන් යුක්තවූයේ වේද, අන්යයා ප්රඥා සම්පත්තියෙහි සමාදන් නොකරවාද, තෙමේ විමුක්තියෙන් යුක්තවූයේ වේද, අන්යයා විමුක්ති සම්පත්තියෙහි සමාදන් නොකරවාද, තෙමේ විමුක්ති ඤාණ දර්ශණයෙන් යුක්තවූයේ වේද, අන්යයා විමුක්ති ඥාන දර්ශණ සම්පත්තියෙහි සමාදන් නොකරවාද,
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්ෂු තෙම තමහට වැඩ පිණිස පිළිපන්නේ වෙයි. අනුන්ට වැඩ පිණිස නොවේ.