5. 1. 1. 9.
[පඨම ආගාරව සූත්‍රය]
9. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ චුත වෙයි. ශාසනයෙහි නොපිහිටයි. “කවර පසකින්ද යත්?
මහණෙනි, ශ්‍රද්‍ධාව නැත්තාවූ භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ චුත වෙයි. ශාසනයෙහි නොපිහිටයි. “මහණෙනි, ලජ්ජා නැත්තාවූ භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ චුත වෙයි. ශාසනයෙහි නොපිහිටයි. මහණෙනි, භය නැත්තාවූ භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ චුත වෙයි. ශාසනයෙහි නොපිහිටයි. මහණෙනි, අලසවූ භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ චුත වෙයි. ශාසනයෙහි නොපිහිටයි. මහණෙනි, දුෂ්ප්‍රාඥවූ භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ චුත වෙයි. ශාසනයෙහි නොපිහිටයි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ චුත වෙයි. ශාසනයෙහි නොපිහිටයි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ගෞරව සහිත වූයේ, ප්‍රතිෂ්ඨා සහිත වූයේ චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි. “කවර පසකින්ද යත්?
මහණෙනි, ශ්‍රද්‍ධාව ඇත්තාවූ භික්‍ෂු තෙම ගෞරව සහිත වූයේ, ප්‍රතිෂ්ඨා සහිත වූයේ චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි. “මහණෙනි, පවට ලජ්ජා ඇති භික්‍ෂු තෙම ගෞරව සහිත වූයේ, ප්‍රතිෂ්ඨා සහිත වූයේ චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි. මහණෙනි, පවට භය ඇති භික්‍ෂු තෙම ගෞරව සහිත වූයේ, ප්‍රතිෂ්ඨා සහිත වූයේ චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි. මහණෙනි, පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇති භික්‍ෂු තෙම ගෞරව සහිත වූයේ, ප්‍රතිෂ්ඨා සහිත වූයේ චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි. මහණෙනි, ප්‍රඥා සහිතවූ භික්‍ෂු තෙම ගෞරව සහිත වූයේ, ප්‍රතිෂ්ඨා සහිත වූයේ චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ගෞරව සහිත වූයේ, ප්‍රතිෂ්ඨා සහිත වූයේ චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි.
5. 1. 1. 10.
[දුතිය ආගාරව සූත්‍රය]
10. “මහණෙනි, කරුණු පසකින් යුත් භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ, මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණෙන්ට නුසුදුසු වේ. “කවර පසකින්ද යත්,
මහණෙනි, ශ්‍රද්‍ධාව නැත්තාවූ භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ, මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණෙන්ට නුසුදුසුවේ. “මහණෙනි, ලජ්ජා නැති භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ, මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණෙන්ට නුසුදුසු වේ. මහණෙනි, භය නැති භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ, මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණෙන්ට නුසුදුසු වේ. මහණෙනි, කුසීතවූ භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ, මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණෙන්ට නුසුදුසු වේ. මහණෙනි, දුෂ්ප්‍රාඥවූ භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ, මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණෙන්ට නුසුදුසු වේ.
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ භික්‍ෂු තෙම අගෞරව සහිත වූයේ, යටත් පැවතුම් නැත්තේ, මේ ධර්ම විනයෙහි වැඩීමට, දියුණුවට, මහත් බවට පැමිණීමට නුසුදුසු වේ.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම “ගෞරව සහිතවූයේ, ප්‍රතිෂ්ඨා සහිතවූයේ මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණීමට සුදුසුවේ. “කවර පසකින්ද යත්?
“මහණෙනි, ශ්‍රද්‍ධාව ඇති භික්‍ෂු තෙම ගෞරව සහිතවූයේ, ප්‍රතිෂ්ඨා සහිතවූයේ මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණීමට සුදුසුවේ. “මහණෙනි, පවට ලජ්ජා ඇති භික්‍ෂු තෙම ගෞරව සහිතවූයේ, ප්‍රතිෂ්ඨා සහිතවූයේ මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණීමට සුදුසුවේ. මහණෙනි, පවට භය ඇති භික්‍ෂු තෙම ගෞරව සහිතවූයේ, ප්‍රතිෂ්ඨා සහිතවූයේ මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණීමට සුදුසුවේ. මහණෙනි, පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇති භික්‍ෂු තෙම ගෞරව සහිතවූයේ, ප්‍රතිෂ්ඨා සහිතවූයේ මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණීමට සුදුසුවේ. මහණෙනි, ප්‍රඥාව ඇති භික්‍ෂු තෙම ගෞරව සහිතවූයේ, ප්‍රතිෂ්ඨා සහිතවූයේ මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණීමට සුදුසුවේ.
මහණෙනි, මේ කරුණු පසින් වනාහි යුක්තවූ භික්‍ෂු තෙම ගෞරව සහිතවූයේ, ප්‍රතිෂ්ඨා සහිතවූයේ මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණීමට සුදුසුවේ.
පළමුවැනි සෙඛබල වර්‍ගය නිමි.
එහි උද්දානය:
සංඛිත්ත, විත්ථත, දුක්ඛ, යථාභත, සික්ඛා, අකුසලසමාපත්ති, කාම, චවන, සහ අගාරව සූත්‍ර දෙක යැයි මෙහි සූත්‍ර දසයකි.