5. 1. 1. 10.
[දුතිය ආගාරව සූත්‍රය]
10. “මහණෙනි, කරුණු පසකින් යුත් භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ, මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණෙන්ට නුසුදුසු වේ. “කවර පසකින්ද යත්,
මහණෙනි, ශ්‍රද්‍ධාව නැත්තාවූ භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ, මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණෙන්ට නුසුදුසුවේ. “මහණෙනි, ලජ්ජා නැති භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ, මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණෙන්ට නුසුදුසු වේ. මහණෙනි, භය නැති භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ, මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණෙන්ට නුසුදුසු වේ. මහණෙනි, කුසීතවූ භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ, මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණෙන්ට නුසුදුසු වේ. මහණෙනි, දුෂ්ප්‍රාඥවූ භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ, මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණෙන්ට නුසුදුසු වේ.
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ භික්‍ෂු තෙම අගෞරව සහිත වූයේ, යටත් පැවතුම් නැත්තේ, මේ ධර්ම විනයෙහි වැඩීමට, දියුණුවට, මහත් බවට පැමිණීමට නුසුදුසු වේ.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම “ගෞරව සහිතවූයේ, ප්‍රතිෂ්ඨා සහිතවූයේ මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණීමට සුදුසුවේ. “කවර පසකින්ද යත්?
“මහණෙනි, ශ්‍රද්‍ධාව ඇති භික්‍ෂු තෙම ගෞරව සහිතවූයේ, ප්‍රතිෂ්ඨා සහිතවූයේ මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණීමට සුදුසුවේ. “මහණෙනි, පවට ලජ්ජා ඇති භික්‍ෂු තෙම ගෞරව සහිතවූයේ, ප්‍රතිෂ්ඨා සහිතවූයේ මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණීමට සුදුසුවේ. මහණෙනි, පවට භය ඇති භික්‍ෂු තෙම ගෞරව සහිතවූයේ, ප්‍රතිෂ්ඨා සහිතවූයේ මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණීමට සුදුසුවේ. මහණෙනි, පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇති භික්‍ෂු තෙම ගෞරව සහිතවූයේ, ප්‍රතිෂ්ඨා සහිතවූයේ මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණීමට සුදුසුවේ. මහණෙනි, ප්‍රඥාව ඇති භික්‍ෂු තෙම ගෞරව සහිතවූයේ, ප්‍රතිෂ්ඨා සහිතවූයේ මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණීමට සුදුසුවේ.
මහණෙනි, මේ කරුණු පසින් වනාහි යුක්තවූ භික්‍ෂු තෙම ගෞරව සහිතවූයේ, ප්‍රතිෂ්ඨා සහිතවූයේ මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණීමට සුදුසුවේ.
පළමුවැනි සෙඛබල වර්‍ගය නිමි.
එහි උද්දානය:
සංඛිත්ත, විත්ථත, දුක්ඛ, යථාභත, සික්ඛා, අකුසලසමාපත්ති, කාම, චවන, සහ අගාරව සූත්‍ර දෙක යැයි මෙහි සූත්‍ර දසයකි.
2. බාල වර්‍ගය
5. 1. 2. 1.
1. පඤ්ච තථාගත බල සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
11. “මහණෙනි, මම පෙර නොඅසන ලද චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මයන්හි විශිෂ්ට ඥානයෙන් දැන කෙළවර කිරීමෙන් පරතෙරට පැමිණියේ ප්‍රතිඥා කෙළෙමි.
“මහණෙනි, යම් බලයකින් යුක්තවූ තථාගත තෙම ශ්‍රේෂ්ඨවූ කාරණය ප්‍රතිඥා කෙරේද, අට පිරිස්හි අභීත නාදය පවත්වාද, ශ්‍රේෂ්ඨවූ ධර්ම චක්‍රය පවත්වාද, තථාගතයන්ගේ එබඳුවූ මේ තථාගත බල පසක් වෙත්.
“කවර පසක්ද යත්? ශ්‍රද්‍ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, වීර්‍ය්‍ය බලය, ප්‍රඥා බලය යන පසයි.
“මහණෙනි, යම් බලයකින් යුක්තවූ තථාගත තෙම ශ්‍රේෂ්ඨවූ කාරණය ප්‍රතිඥා කෙරේද, අට පිරිස්හි අභීත නාදය පවත්වාද, ශ්‍රේෂ්ඨවූ ධර්ම චක්‍රය පවත්වාද, තථාගතයන්ගේ එබඳුවූ මේ තථාගත බල පසක් වෙත්.
5. 1. 2. 2.
2. කූටාගාරොපම සූත්‍රය
12. “මහණෙනි, මේ ශෛක්‍ෂ බල පසක් වෙත්. කවර පසක්ද යත්? ශ්‍රද්‍ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, වීර්‍ය්‍ය බලය, ප්‍රඥා බලය යන පසයි. මහණෙනි, මේ වනාහි පඤ්ච ශෛක්‍ෂ බලයෝ ය.”
“මහණෙනි, මේ ශෛක්‍ෂ බල පස අතුරෙන් යම් මේ ප්‍රඥා බලයක් වේද, මෙය උතුම් වේ. මෙය සංග්‍රහ කිරීම ඇත්තක් වේ. මෙය ගැලපීම ඇත්තක් වේ.
“මහණෙනි, යම්සේ කුළුගෙයක යම් මේ කූටයක් හෙවත් මුදුනක් වේද, මෙය උතුම් වේද, මෙය සංග්‍රහ කිරීම ඇත්තක් වේද, මෙය ගැලපීම ඇත්තක් වේද, මහණෙනි, මෙපරිද්දෙන්ම මහණෙනි, මේ ශෛක්‍ෂ බල පස අතුරෙන් යම් මේ ප්‍රඥා බලයක් වේද, මෙය උතුම් වේ. මෙය සංග්‍රහ කිරීම ඇත්තක් වේ. මෙය ගැලපීම ඇත්තක් වේ.
“මහණෙනි, එහෙයින් මේ ශාසනයෙහි මෙසේ හික්මිය යුතුයි: ‘ශෛක්‍ෂ බලයවූ ශ්‍රද්‍ධා බලයෙන් යුක්ත වන්නෙමු, ශෛක්‍ෂ බලයවූ හිරි බලයෙන් යුක්ත වන්නෙමු, ශෛක්‍ෂ බලයවූ ඔත්තප්ප බලයෙන් යුක්ත වන්නෙමු, ශෛක්‍ෂ බලයවූ වීර්‍ය්‍ය බලයෙන් යුක්ත වන්නෙමු, ශෛක්‍ෂ බලයවූ ප්‍රඥා බලයෙන් යුක්ත වන්නෙමු’ යි. මහණෙනි, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුය” යි වදාළ සේක.