5. 1. 1. 3.
[දුක්ඛවිහාර සූත්‍රය]
3. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම මේ ආත්මයෙහිම පීඩා සහිතව, දැඩි ආයාශයෙන් යුක්තව, හාත්පස දැවීමෙන් යුක්තව, දුකසේ වාසය කෙරෙයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි දුර්‍ගතියද කැමතිවිය යුතුයි.
“කවර පසකින්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ශ්‍රද්‍ධාව නැත්තේ වේද, පවට ලජ්ජා නැත්තේ වේද, පවට බිය නැත්තේ වේද, අලස වූයේ වේද, ප්‍රඥා නැත්තේ වේද, යන මේ පසිනි.
මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම මේ ආත්මයෙහිම පීඩා සහිතව, දැඩි ආයාශයෙන් යුක්තව, හාත්පස දැවීමෙන් යුක්තව, දුකසේ වාසය කෙරෙයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි දුර්‍ගතියද කැමතිවිය යුතුයි.
“මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම මේ ආත්මයෙහිම දුක් රහිතවූ, දැඩි ආයාශ රහිතව, හාත්පස දැවීම් රහිතව, සුවසේ වාසය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සුගතියද කැමතිවිය යුතුයි.
“කවර පසකින්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ශ්‍රද්‍ධාව ඇත්තේ වේද, පාපයට ලජ්ජා ඇත්තේ වේද, පාපයට භය ඇත්තේ වේද, පටන්ගන්නාලද වීර්‍ය්‍ය ඇත්තේ වේද, ප්‍රඥාව ඇත්තේ වේද, යන මේ පසිනි.
“මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම මේ ආත්මයෙහිම දුක් රහිතවූ, දැඩි ආයාශ රහිතව, හාත්පස දැවීම් රහිතව, සුවසේ වාසය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සුගතියද කැමතිවිය යුතුයි.
5. 1. 1. 4.
[යථාභතනික්ඛිත්ත සූත්‍රය]
4. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ගෙණෙනලද බරක් බිම තබන ලද්දේ යම්සේද, මෙසේ නරකයෙහි උපදී.
“කවර පසකින්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ශ්‍රද්‍ධාව නැත්තේ වේද, පවට ලජ්ජා නැත්තේ වේද, පවට බිය නැත්තේ වේද, අලස වූයේ වේද, ප්‍රඥා නැත්තේ වේද, යන මේ පසිනි. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ගෙණෙනලද බරක් බිම තබන ලද්දේ යම්සේද, මෙසේ නරකයෙහි උපදී.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ගෙණෙනලද බරක් බහා තබන ලද්දේ යම්සේද, මෙසේ ස්වර්‍ගයෙහි උපදී.
“කවර පසකින්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ශ්‍රද්‍ධාව ඇත්තේ වේද, පාපයට ලජ්ජා ඇත්තේ වේද, පාපයට භය ඇත්තේ වේද, පටන්ගන්නාලද වීර්‍ය්‍ය ඇත්තේ වේද, ප්‍රඥාව ඇත්තේ වේද, යන මේ පසිනි. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ගෙණෙනලද බරක් බහා තබන ලද්දේ යම්සේද, මෙසේ ස්වර්‍ගයෙහි උපදී.
5. 1. 1. 5.
[සික්ඛාපච්චක්ඛාන සූත්‍රය]
5. “මහණෙනි, යම්කිසි භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ ශික්‍ෂාව හැරදමා ගිහිබවට පැමිණේද, ඕහට මේ ආත්මයෙහිම ගැරහියයුතු කරුණු සහිත වාද ප්‍රවෘත්ති පසක් පැමිණෙත්.
“කවර පසකින්ද යත්, කුශල ධර්මයන්හි තොපගේ ශ්‍රද්‍ධාවකුත් නොවීය. කුශල ධර්මයන්හි තොපගේ ලජ්ජාවකුත් නොවීය. කුශල ධර්මයන්හි තොපගේ භයකුත් නොවීය. කුශල ධර්මයන්හි තොපගේ වීර්‍ය්‍යයකුත් නොවීය. කුශල ධර්මයන්හි තොපගේ ප්‍රඥාවකුත් නොවීය. යන පසයි.
“මහණෙනි, යම්කිසි භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ ශික්‍ෂාව හැරදමා ගිහිබවට පැමිණේද, ඕහට මේ ආත්මයෙහිම ගැරහියයුතු කරුණු සහිත වාද ප්‍රවෘත්ති පසක් පැමිණෙත්.
“මහණෙනි, යම්කිසි භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ දුක සහිතවද, දොම්නස සහිතවද, කඳුළු පිරුණු මුහුණු ඇත්තේ, හඬමින් සම්පූර්‍ණකොට, පිරිසිදුකොට බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරේද, ඔහුට මේ ආත්මයෙහිම කරුණු සහිතවූ, පැසසියයුතු කරුණු පසක් පැමිණෙත්.