5. 1. 1. 4.
[යථාභතනික්ඛිත්ත සූත්රය]
4. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්ෂු තෙම ගෙණෙනලද බරක් බිම තබන ලද්දේ යම්සේද, මෙසේ නරකයෙහි උපදී.
“කවර පසකින්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම ශ්රද්ධාව නැත්තේ වේද, පවට ලජ්ජා නැත්තේ වේද, පවට බිය නැත්තේ වේද, අලස වූයේ වේද, ප්රඥා නැත්තේ වේද, යන මේ පසිනි. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්ෂු තෙම ගෙණෙනලද බරක් බිම තබන ලද්දේ යම්සේද, මෙසේ නරකයෙහි උපදී.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්ෂු තෙම ගෙණෙනලද බරක් බහා තබන ලද්දේ යම්සේද, මෙසේ ස්වර්ගයෙහි උපදී.
“කවර පසකින්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම ශ්රද්ධාව ඇත්තේ වේද, පාපයට ලජ්ජා ඇත්තේ වේද, පාපයට භය ඇත්තේ වේද, පටන්ගන්නාලද වීර්ය්ය ඇත්තේ වේද, ප්රඥාව ඇත්තේ වේද, යන මේ පසිනි. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්ෂු තෙම ගෙණෙනලද බරක් බහා තබන ලද්දේ යම්සේද, මෙසේ ස්වර්ගයෙහි උපදී.
5. 1. 1. 5.
[සික්ඛාපච්චක්ඛාන සූත්රය]
5. “මහණෙනි, යම්කිසි භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ ශික්ෂාව හැරදමා ගිහිබවට පැමිණේද, ඕහට මේ ආත්මයෙහිම ගැරහියයුතු කරුණු සහිත වාද ප්රවෘත්ති පසක් පැමිණෙත්.
“කවර පසකින්ද යත්, කුශල ධර්මයන්හි තොපගේ ශ්රද්ධාවකුත් නොවීය. කුශල ධර්මයන්හි තොපගේ ලජ්ජාවකුත් නොවීය. කුශල ධර්මයන්හි තොපගේ භයකුත් නොවීය. කුශල ධර්මයන්හි තොපගේ වීර්ය්යයකුත් නොවීය. කුශල ධර්මයන්හි තොපගේ ප්රඥාවකුත් නොවීය. යන පසයි.
“මහණෙනි, යම්කිසි භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ ශික්ෂාව හැරදමා ගිහිබවට පැමිණේද, ඕහට මේ ආත්මයෙහිම ගැරහියයුතු කරුණු සහිත වාද ප්රවෘත්ති පසක් පැමිණෙත්.
“මහණෙනි, යම්කිසි භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ දුක සහිතවද, දොම්නස සහිතවද, කඳුළු පිරුණු මුහුණු ඇත්තේ, හඬමින් සම්පූර්ණකොට, පිරිසිදුකොට බ්රහ්මචර්ය්යාවෙහි හැසිරේද, ඔහුට මේ ආත්මයෙහිම කරුණු සහිතවූ, පැසසියයුතු කරුණු පසක් පැමිණෙත්.
“කවර පසක්ද යත්. කුශල ධර්මන්හි තොපගේ ශ්රද්ධාවද විය. කුශල ධර්මන්හි තොපගේ ලජ්ජාවද විය. කුශල ධර්මන්හි තොපගේ භයද විය. කුශල ධර්මන්හි තොපගේ වීර්ය්යයද විය. කුශල ධර්මන්හි තොපගේ ප්රඥාවද විය. යන පසයි.
“මහණෙනි, යම්කිසි භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ දුක සහිතවද, දොම්නස සහිතවද, කඳුළු පිරුණු මුහුණු ඇත්තේ, හඬමින් සම්පූර්ණකොට, පිරිසිදුකොට බ්රහ්මචර්ය්යාවෙහි හැසිරේද, ඔහුට මේ ආත්මයෙහිම කරුණු සහිතවූ, පැසසියයුතු කරුණු පසක් පැමිණෙත්.
5. 1. 1. 6.
[අකුසල සමාපත්ති සූත්රය]
6. “මහණෙනි, යම්තාක් කුශල ධර්මයන්හි ශ්රද්ධාව එළඹ සිටියා වේද, ඒතාක් අකුශල ධර්මයට පැමිණීම නොවේ. මහණෙනි, යම් තැනෙක පටන් ශ්රද්ධාව අතුරුදහන් වේද, අශ්රද්ධාව හාත්පස වැළඳගෙන සිටීද, එකල්හි අකුශලයාගේ පැමිණීම වේ.
“මහණෙනි, යම්තාක් අකුශල ධර්මයන්හි ලජ්ජාව එළඹ සිටියා වේද, ඒතාක් අකුශලයාගේ පැමිණීම නොවේ. මහණෙනි, යම් තැනෙක පටන් ලජ්ජාව අතුරුදන් වේද, ලජ්ජාව නැතිබව හාත්පසින් වැළඳගෙන සිටීද, එකල්හි අකුශලයාගේ පැමිණීම වේ.
මහණෙනි, යම්තාක් අකුශල ධර්මයන්හි පාපයට භයවීම එළඹ සිටියේ වේද, ඒතාක් අකුශල ධර්මයාගේ පැමිණීම නොවේ. මහණෙනි, යම් තැනෙක පටන් පාපයට භයවීම අතුරුදන් වේද, පාපයට භය නැතිවීම හාත්පස වැළඳගෙන සිටීද, එකල්හි අකුශල ධර්මයාගේ පැමිණීම වේ.
මහණෙනි, යම්තාක් කුශල ධර්මයන්හි වීර්ය්යය එළඹ සිටියේ වේද, ඒතාක් අකුශල ධර්මයාගේ පැමිණීම නොවේ. මහණෙනි, යම් තැනෙක පටන් වීර්ය්යය අතුරුදන් වේද, කුසීත බව හාත්පසින් වැළඳගෙන සිටීද, එකල්හි අකුශල ධර්මයාගේ පැමිණීම වේ.
මහණෙනි, යම්තාක් කුශල ධර්මයන්හි ප්රඥාව එළඹ සිටියා වේද, ඒතාක් අකුශල ධර්මයාගේ පැමිණීම නොවේ. “මහණෙනි, යම් තැනෙක පටන් ප්රඥා තොමෝ අතුරුදන් වේද, දුෂ්ප්රඥාව හාත්පසින් වැළඳගෙන සිටීද, එකල්හි අකුශල ධර්මයාගේ පැමිණීම වේ.
5. 1. 1. 7.
[කාමපලාලිත සූත්රය]
7. “මහණෙනි, බොහෝ සෙයින් සත්ත්වයෝ කාමයන්හි ඇළුනාහු වෙත්. මහණෙනි, කුලපුත්රතෙම දෑකැත්ත හා කූඩකද හැරදමා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ වේද, හෙතෙම ශ්රද්ධාවෙන් පැවිදිවූ කුලපුත්රයායයි කියන්ට සුදුසුය. ඊට හේතු කවරේද යත්?
මහණෙනි, යෞවනයෙකු විසින් කාමයෝ ලැබිය හැක්කාහ. ඒ කාමයෝද වනාහි යම්බඳුවූවාහු හෝ එබඳුවූවාහු හෝ වෙත්. මහණෙනි, යම් හීනවූ කාමයෝ වෙත්ද, යම් මධ්යමවූ කාමයෝ වෙද්ද, යම් ප්රණීතවූ කාමයෝ වෙද්ද, ඒ සියලු කාමයෝ කාමයෝයයිම සංඛ්යාවට පැමිණෙත්.