4. 6. 9.
[අරඤ්ඤක චිත්තක සූත්‍රය]
9. මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ මහණ තෙම වනයෙහි වානප්‍රස්ත ප්‍රාන්ත සෙනසුන් ආශ්‍රය කරන්ට නුසුදුසුය. කවර සතරකින්ද යත්?
කාම විතර්‍කයෙන්ද, ව්‍යාපාද විතර්‍කයෙන්ද, විහිංසා විතර්‍කයෙන්ද, ජඩවූ, කෙළතොළුවූ මෝඩයෙක් වේද,
මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ මහණ තෙම වනයෙහි වානප්‍රස්ත ප්‍රාන්ත සෙනසුන් ආශ්‍රය කරන්ට නුසුදුසුය.
මහණෙනි, කරුණු සතරකින් යුක්ත මහණ තෙම වනයෙහි වානප්‍රස්ත ප්‍රාන්ත සෙනසුන් සෙවනය කරන්ට සුදුසු වේ. කවර සතරකින්ද යත්?
නෛශ්ක්‍රම්‍ය කල්පනාවෙන්ද, අවිහිංසා කල්පනාවෙන්ද, අව්‍යාපාද කල්පනාවෙන්ද, නො ජඩ, කෙළතොළු නොවූයේද,
මහණෙනි, කරුණු සතරකින් යුක්ත මහණ තෙම වනයෙහි වානප්‍රස්ත ප්‍රාන්ත සෙනසුන් සෙවනය කරන්ට සුදුසු වේ.
4. 6. 10.
[සාවජ්ජ කම්ම සූත්‍රය]
10. මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ අව්‍යක්ත, අසත්පුරුෂ, බාල තෙමේ, සාරා දමන ලද ගුණ ඇති, නසන ලද ගුණ ඇති, තමා පරිහරණය කරයි. වරද සහිතද වේ. නුවණැත්තන් විසින් උපවාද කරන්නේද වේ. බොහෝ අකුසල්ද රැස් කරයි. කවර සතරකින්ද යත්?
වරද සහිත කාය කර්මයෙන්ද, වරද සහිත වාක් කර්මයෙන්ද, වරද සහිත මනො කර්මයෙන්ද, වරද සහිත දෘෂ්ටියෙන්ද,
මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ අව්‍යක්ත, අසත්පුරුෂ, බාල තෙමේ, සාරා දමන ලද ගුණ ඇති, නසන ලද ගුණ ඇති, තමා පරිහරණය කරයි. වරද සහිතද වේ. නුවණැත්තන් විසින් උපවාද කරන්නේද වේ. බොහෝ අකුසල්ද රැස් කරයි.
මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ, ව්‍යක්ත, සත්පුරුෂ පණ්ඩිත තෙම සාරා නොදමන ලද ගුණ ඇති නොනසන ලද ගුණ ඇති, තමා පරිහරණය කරයි. වරද රහිතද වේ. නුවණැත්තන් විසින් උපවාද නොකරන්නේද වේ. බොහෝ කුසල්ද රැස් කරයි. කවර සතරකින්ද යත්?
වරද රහිත කාය කර්‍මයෙන්ද, වරද රහිත වාක් කර්‍මයෙන්ද, වරද රහිත මනො කර්‍මයෙන්ද, වරද රහිත දෘෂ්ටියෙන්ද,
යන මේ කරුණු සතරකින් යුක්තවූ, ව්‍යක්ත, සත්පුරුෂ පණ්ඩිත තෙම සාරා නොදමන ලද ගුණ ඇති නොනසන ලද ගුණ ඇති, තමා පරිහරණය කරයි. වරද රහිතද වේ. නුවණැත්තන් විසින් උපවාද නොකරන්නේද වේ. බොහෝ කුසල්ද රැස් කරයි.
විසි හය වෙනි අභිඥා වර්‍ගය නිමි.