4. 6. 10.
[සාවජ්ජ කම්ම සූත්රය]
10. මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ අව්යක්ත, අසත්පුරුෂ, බාල තෙමේ, සාරා දමන ලද ගුණ ඇති, නසන ලද ගුණ ඇති, තමා පරිහරණය කරයි. වරද සහිතද වේ. නුවණැත්තන් විසින් උපවාද කරන්නේද වේ. බොහෝ අකුසල්ද රැස් කරයි. කවර සතරකින්ද යත්?
වරද සහිත කාය කර්මයෙන්ද, වරද සහිත වාක් කර්මයෙන්ද, වරද සහිත මනො කර්මයෙන්ද, වරද සහිත දෘෂ්ටියෙන්ද,
මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ අව්යක්ත, අසත්පුරුෂ, බාල තෙමේ, සාරා දමන ලද ගුණ ඇති, නසන ලද ගුණ ඇති, තමා පරිහරණය කරයි. වරද සහිතද වේ. නුවණැත්තන් විසින් උපවාද කරන්නේද වේ. බොහෝ අකුසල්ද රැස් කරයි.
මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ, ව්යක්ත, සත්පුරුෂ පණ්ඩිත තෙම සාරා නොදමන ලද ගුණ ඇති නොනසන ලද ගුණ ඇති, තමා පරිහරණය කරයි. වරද රහිතද වේ. නුවණැත්තන් විසින් උපවාද නොකරන්නේද වේ. බොහෝ කුසල්ද රැස් කරයි. කවර සතරකින්ද යත්?
වරද රහිත කාය කර්මයෙන්ද, වරද රහිත වාක් කර්මයෙන්ද, වරද රහිත මනො කර්මයෙන්ද, වරද රහිත දෘෂ්ටියෙන්ද,
යන මේ කරුණු සතරකින් යුක්තවූ, ව්යක්ත, සත්පුරුෂ පණ්ඩිත තෙම සාරා නොදමන ලද ගුණ ඇති නොනසන ලද ගුණ ඇති, තමා පරිහරණය කරයි. වරද රහිතද වේ. නුවණැත්තන් විසින් උපවාද නොකරන්නේද වේ. බොහෝ කුසල්ද රැස් කරයි.
විසි හය වෙනි අභිඥා වර්ගය නිමි.
7. කම්මපථ වර්ගය
4. 7. 1.
1. පාණාතිපාත සුගති දුග්ගති සූත්රය
සැවැත් නුවරදීය
1. “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ. කවර සතරකින්ද යත්?
තමන්ද සතුන් මරන්නේ වේද, අනුන්ද සතුන් මැරීමෙහි සමාදන් කරවයිද, සතුන් මැරීමෙහි අනුදන්නේ වේද, සතුන් මැරීමෙහි ගුණ කියයිද,
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්ගයෙහි වේ. කවර සතරකින්ද යත්,
තමාද සතුන් නොමරාද, අනුන්ද සතුන් මැරීමෙහි සමාදන් නොකරවාද, සතුන් මැරීමෙහි නොඅනුදන්නේද, සතුන් මැරීමෙහි ගුණ නොකියයිද,
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්ගයෙහි වේ.
4. 7. 2.
2. අදින්නාදාන දුගති සුගති සූත්රය
2. “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ. කවර සතරකින්ද යත්?
තමන්ද නුදුන් දෙය ගන්නේ වේද, අනුන්ද නුදුන් දේ ගැනීමෙහි සමාදන් කරවයිද, නුදුන් දේ ගැනීමෙහි අනුදන්නේ වේද, නුදුන් දේ ගැනීමෙහි ගුණ කියයිද, “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්ගයෙහි වේ.
“තමන්ද නුදුන් දේ ගැනීමෙන් වෙන්වූයේ වේද, අනුන්ද නුදුන් දේ ගැනීමෙන් වෙන්වීමට බණ කියයිද, නුදුන් දේ ගැනීමෙන් වෙන්වීමට අනුදන්නේ වේද, නුදුන් දේ ගැනීමෙන් වෙන්වීමෙහි ගුණ කියයිද, “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්ගයෙහි වේ.