4. 5. 5. 3.
3. සික්ඛානිසංස සූත්‍රය
245. මහණෙනි, ශික්‍ෂාව ආනිශංසකොට ඇති, ප්‍රඥාව අධිකකොට ඇති, විමුක්තිය හරයකොට ඇති, සිහිය අධිපතිකොට ඇති මේ බ්‍රහ්මචර්‍ය්‍යය වසයි.
මහණෙනි, කෙසේ ශික්ඛානිසංසය වේද? මහණෙනි, මා විසින් මේ ශාසනයෙහි ශ්‍රාවකයන්ට නොපැහැදුනවුන්ගේ පැහැදීම පිණිස, පැහැදුනවුන්ගේ වඩා පැහැදීම පිණිස, වත් පිළිවෙත් වශයෙන් ශික්‍ෂාවක් පනවන ලද්දේද, මහණෙනි, මා විසින් යම් යම් පරිද්දෙකින් නොපැහැදුනවුන්ගේ පැහැදීම පිණිස, පැහැදුනවුන්ගේ වැඩි පැහැදීම පිණිස, ශ්‍රාවක ආභිසමාචාරික ශික්‍ෂාවක් පනවන ලද්දේද, එසේ හෙතම ඒ ශික්‍ෂාව කඩ නොකරන්නේ වේ. නොසිදුරු කරන්නේ වේ. පුල්ලි නොගසන්නේය. කිලුටු නොකරන්නේය. ශික්‍ෂා පදයන් ගෙන හික්මෙයි. මහණෙනි, නැවතද, මා විසින් ශ්‍රාවකයන්ට සර්‍වප්‍රකාරයෙන් මනාව දුක් කෙළවර කිරීමට, මාර්‍ග බ්‍රහ්මචරියට ආදීවූ සිවු පිරිසිදු ශීලයක් පනවන ලද්දේද, මහණෙනි, යම් යම් ප්‍රකාරයකින් ශ්‍රාවකයන්ට මනාව දුක් කෙළවර කිරීමට ශික්‍ෂාවක් දේශනා කළේද, එසේ හෙතම ඒ ශික්‍ෂාව කඩ නොකරන්නේ වේ. නොසිදුරු කරන්නේ වේ. පුල්ලි නොගසන්නේය. කිලුටු නොකරන්නේය. ශික්‍ෂා පදයන් ගෙන හික්මෙයි. මහණෙනි, මෙසේ ශික්‍ෂානිසංසය වේ.
මහණෙනි, කෙසේ වනාහි පඤ්ඤුත්තර වේද? මහණෙනි, මා විසින් මේ ශාසනයෙහි ශ්‍රාවකයන්ට සර්‍වප්‍රකාරයෙන් මනාකොට දුක් කෙළවර කිරිමට ධර්ම දේශනා කරණ ලද්දේද, මහණෙනි, මා විසින් යම් යම් පරිද්දෙකින් සර්‍ව ප්‍රකාරයෙන් මනාකොට දුක් කෙළවර කිරීමට ශ්‍රාවකයන්ට ධර්ම දේශනා කරන ලද්දේද, ඒ ඒ ප්‍රකාරයෙන් ඒ ධර්මයෝ ප්‍රඥාවෙන් මනාකොට දක්නා ලද්දේ වේ. මහණෙනි, මෙසේ වනාහි පඤ්ඤුත්තර වේ.
කෙසේ වනාහි අර්හත් ඤාණ විමුක්තිය සාරයකොට ඇත්තේද? මහණෙනි, මා විසින් මේ ශාසනයෙහි ශ්‍රාවකයන්ට සර්‍වප්‍රකාරයෙන් මනාකොට දුක් කෙළවර කිරිමට ධර්ම දේශනා කරණ ලද්දේද, ඒ ඒ පරිද්දෙන් ඔහු විසින් ඒ ධර්මයෝ අර්හත් ඥාණ විමුක්තියෙන් ස්පර්‍ශ කරණ ලද්දාහු වෙත්. මහණෙනි, මෙසේ වනාහි විමුක්තිය සාරයකොට ඇත්තාහ.
මහණෙනි, කෙසේ වනාහි සිහිය අධිපතිකොට ඇත්තේ වේද? ‘මෙසේ සම්පූර්‍ණ නොවු හෝ වත් පිළිවෙත් ශික්‍ෂා සම්පූර්‍ණ කරන්නෙමි. පිරිපුන් වත් පිළිවෙත් ශික්‍ෂාව ඒ ඒ තන්හි ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නෙමියි අධ්‍යාත්මයෙහි සිහිය එළඹ සිටියේ වේ. මෙසේ සම්පූර්‍ණ නොවූ සිවු පිරිසිදු සිල් සම්පූර්‍ණ කරන්නෙමි. සම්පූර්‍ණවූ හෝ සිවු පිරිසිදු ශීලය ඒ ඒ තන්හි ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නෙමියි අධ්‍යාත්මයෙහි සිහිය එළඹ සිටියේ වේ. මෙසේ නොදක්නා ලද ධර්මය ප්‍රඥාවෙන් බලන්නෙමි. දුටු ධර්මය ඒ ඒ තන්හි ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නෙමියි අධ්‍යාත්මයෙහි සිහිය එළඹ සිටියේ වේ. මෙසේ ස්පර්‍ශ නොකරණ ලද ධර්මය අර්හත් ඵල විමුක්තියෙන් බලන්නෙමි. දක්නා ලද ධර්මය ඒ ඒ තන්හි නුවණින් අනුග්‍රහ කරන්නෙමියි අධ්‍යාත්මයෙහිම සිහිය එළඹ සිටියේ වෙයි. මහණෙනි, මෙසේ වනාහි සිහිය අධිපතිවූයේ වේ.
මහණෙනි, ප්‍රඥාව ශ්‍රේෂ්ඨකොට ඇති, විමුක්තිය සාරයකොට ඇති, සිහිය අධිපතිකොට ඇති මේ බ්‍රහ්මචර්‍ය්‍යය ශික්‍ෂාව අනුසස්කොට ඇත්තේයයි යමක් වදාරණ ලද්දේ නම් එය මේ සඳහා වදාරණ ලදී.”
4. 5. 5. 4.
4. සෙය්‍යාචතුක්ක සූත්‍රය
246. “මහණෙනි, මේ සෙය්‍යා සතරක් වෙත්. කවර සතරක්ද යත්?
ප්‍රෙත සෙය්‍යාව, කාමභෝගී සෙය්‍යාව, සිංහ සෙය්‍යාව, තථාගත සෙය්‍යාව.
මහණෙනි, ප්‍රෙත සෙය්‍යාව කවරේද, මහණෙනි, බොහෝ සෙයින් ප්‍රෙතයෝ උඩුකුරුව සයනය කරත්. මේ ප්‍රෙත සෙය්‍යාවයි.
මහණෙනි, කාමභෝගී සෙය්‍යාව කවරේද, මහණෙනි, බොහෝ සෙයින් කාමභෝගීහු වාම පාර්ශ්වයෙන් සයනය කරත්. මේ කාමභෝගී සෙය්‍යායවයයි කියනු ලැබේ.”
මහණෙනි, සිංහ සෙය්‍යාව කවරේද? මහණෙනි, මෘඝරාජවූ සිංහ තෙම පයෙහි පය මඳක් ඇද, දෙකෙළවර අතුරෙහි නගුට ප්‍රවේශ කරවා දකුණු පසින් සයනය කරයි. හෙතෙම පිබිදී උඩකය ඉදිරියට නමා පසුකය බලයි. ඉදින් මහණෙනි, මෘගරාජවූ සිංහ තෙම නොසතුටුවූයේ වේ. මහණෙනි, ඉදින් සිංහවූ මෘගරාජ තෙම ශරීරයේ අවුල්වූ හෝ විසුරුණාවූ හෝ කිසිවක් දකීද, මහණෙනි, ඒ කාරණයෙන් මෘගරාජවූ සිංහයා නොසතුටු වූයේ වේ. මහණෙනි, මේ සිංහ සෙය්‍යාවයයි කියනු ලැබේ.
මහණෙනි, තථාගත සෙය්‍යාව කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි තථාගත තෙම කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්‍ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමා තුළ පැහැදීම් ඇති, සිතේ එකඟකම ඇති, විතර්‍ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති, ද්වීතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතියගේ වෙන්වීමෙන් උපේක්‍ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, කයින් සැපක් විඳියි. උපෙක්‍ෂා ඇති, සිහි ඇති, සැප විහරණයකැයි යමක් ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැප පහවීමෙන්ද, දුක පහවීමෙන්ද, සොම්නස, දොම්නස දෙක අස්තවීමට පෙර දුක් නැති, සැප නැති, උපෙක්‍ෂා සමෘති දෙදෙනාගේ පිරිසිදුකම ඇති, සතරවැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ තථාගත සෙය්‍යාවයි.
මහණෙනි, මේ සතර සෙය්‍යාවෝය.”
4. 5. 5. 5.
5. ථූපාරහ සූත්‍රය
247. “මහණෙනි, ථූප කරවීමට සුදුසු පුද්ගලයෝ සතර දෙනෙක් වෙත්. කවර සතරදෙනෙක්ද යත්:
තථාගත අර්හත් සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේ ථූපයට යෝග්‍යයි. පසේ බුදුන් ථූපයට යෝග්‍යයි. තථාගත ශ්‍රාවකයෙකු ථූපයට යෝග්‍යයි. සක්විති රජ තෙම ථූපයට යෝග්‍යයි.”
මහණෙනි, මේ සතර දෙන ථූපාරහයෝය.
4. 5. 5. 6.
6. පඤ්ඤාවුද්‍ධිධම්ම සූත්‍රය
248. “මහණෙනි, මේ ධර්‍ම සතරක් ප්‍රඥාභිවෘද්‍ධිය පිණිස පවතී. කවර සතරක්ද යත්?
සත්පුරුෂ ආශ්‍රය, සද්‍ධර්‍ම ශ්‍රවණය, නුවණින් මෙණෙහි කිරීම, ධර්‍මානුධර්ම ප්‍රතිපත්තිය.
යන මේ සතර ධර්මයෝ ප්‍රඥාවගේ අභිවෘද්‍ධිය පිණිස පවතී.”