4. 4. 3. 9.
දිට්ඨධම්ම පරිනිබ්බාන සූත්රය
29. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණි සේක. පැමිණ ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවියයුතුවූ, සිහි කටයුතුවූ කථාව කොට නිමවා එකත්පසක සිටි සේක. එකත්පසක සිටි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේට මෙසේ පැවසුවේය :
‘ඇවැත්නි, ශාරීපුත්ර ස්ථවිරයන් වහන්ස, යම් කරුණකින් මේ ලෝකයෙහි ඇතැම් සත්ත්වයෝ මේ ආත්මයෙහිම පිරිනිවන් නොපාත්ද, ඊට හේතු කවරේද, ඊට ප්රත්යය කවරේදැ’ යි ඇසුයේය.
“ඇවැත්නි, ආනන්දය, මේ ලෝකයෙහි සත්ත්වයෝ මේ සංඥාවෝ පිරිහීම් භජනය කරත්යයි තත්වූ පරිද්දෙන් නොදනිද්ද, මේ ධර්මයෝ පැවැත්ම භජනය කරත්යයි තත්වූ පරිද්දෙන් නොදනිද්ද, මොවුහු විශේෂයට පැමිණේයයි තත්වූ පරිද්දෙන් නොදනිද්ද, මොවුහු නිවන භජනය කෙරෙත්යයි තත්වූ පරිද්දෙන් නොදනිත්ද, ඇවැත්නි, ආනන්දය, යම් කරුණකින් මේ ලෝකයෙහි ඇතැම් සත්ත්වයෝ මේ ආත්මයෙහිම පිරිනිවන් නොපාත්ද, මේ ඊට හේතුය. මේ ඊට ප්රත්යය.
“ඇවැත්නි, ශාරීපුත්රය, යම් කරුණකින් මේ ලෝකයෙහි ඇතැම් සත්ත්වයෝ මේ ආත්මයෙහිම පිරිනිවන් පාත්ද, ඊට හේතු කවරේද, ඊට ප්රත්යය කවරේද?
“ඇවැත්නි, ආනන්දය, මේ ලෝකයෙහි සත්ත්වයෝ මේ සංඥාවෝ පිරිහීමට යන්නේයයි තත්වූ පරිද්දෙන් දනීද, මොවුහු පැවැත්ම භජනය කරත්යයි තත්වූ පරිද්දෙන් දනිද්ද, මොවුහු විශේෂයට පමුණුවන්නේයයි තත්වූ පරිද්දෙන් දනිද්ද, මොවුහු නිවන භජනය කෙරෙත්යයි තත්වූ පරිද්දෙන් දනිද්ද, ඇවැත්නි, ආනන්දය, යම් කරුණකින් මේ ලෝකයෙහි ඇතැම් සත්ත්වයෝ මෙලොවම පිරිනිවෙත්ද මේ ඊට හේතුය. මේ ඊට ප්රත්යය.”
4. 4. 3. 10.
මහාපදෙසදෙසනා සූත්රය
30. “එක් කාලයෙක්හි භාග්යවතුන් වහන්සේ භොග නගරයෙහි, ආනන්ද චෛත්යයෙහි වාසය කරන සේක. එහිදී වනාහි භාග්යවතුන් වහන්සේ, ‘මහණෙනි,’ යි භික්ෂූන් ආමන්ත්රණය කළ සේක. ‘පින්වතුන් වහන්සැ’ යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට ප්රතිවචන දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, මේ සතර මහා ප්රදේශයන් දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමියි වදාළ සේක. ඒ භික්ෂූහු, ‘එසේය, ස්වාමීනි’ යි කියා භාග්යවතුන් වහන්සේට ප්රතිවචන දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක :
“මහණෙනි, සතර මහා ප්රදේශයෝ කවරහුද?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ කෙනෙක්, ‘ඇවැත්නි, මෙය භාග්යවතුන් වහන්සේ ඉදිරිපිටදී අසන ලදී. ඉදිරිපිටදී පිළිගන්නා ලදී. මේ ධර්මය, මේ විනය, මේ ශාස්තෘ ශාසනයයි,’ මෙසේ කියන්නේය.
“මහණෙනි, ඒ භික්ෂුවගේ කීමට නොසතුටු නොවිය යුතුයි. ආක්රොශ නොකටයුතුය. නොසතුටු නොවී, ආක්රොශ නොකොට, ඒ පදයන්, ව්යඤ්ජනයන් මනාකොට උගෙන, සූත්රයන් හා සමකළ යුත්තාහ. විනය හා සැසඳිය යුත්තාහ. ඉදින් ඔවුන් සූත්රයන් හා සමාන කරන්නේ, විනය හා සසඳන්නේ, සූත්රයට සමාන නොවෙත්ද, විනය හා නොසැසඳෙත්ද, ඒකාන්තයෙන් මෙය භාග්යවත්, අර්හත්, සම්යක් සම්බුද්ධයන් වහන්සේගේ වචන නොවන්නේමය. මේ භික්ෂුව නපුරුකොට වරදවා ගත් එකකැයි නිෂ්ටාවට යා යුතුය. මහණෙනි, මෙය මෙසේ අත්හරිව්.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ කෙනෙක්, ‘ඇවැත්නි, මෙය භාග්යවතුන් වහන්සේ ඉදිරිපිටදී අසන ලදී. ඉදිරිපිටදී පිළිගන්නා ලදී. මේ ධර්මය, මේ විනය, මේ ශාස්තෘ ශාසනයයි,’ මෙසේ කියන්නේය.
“ඉදින් ඔවුන් සූත්රයන් හා සම කරන්නේ, විනය හා සසඳන්නේ, සූත්ර හා සමද, විනය හා සැසඳෙත්ද, ඒකාන්තයෙන් මෙය ඒ භාග්යවත් අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේගේ වචනය මේ භික්ෂුවද යහපත්සේ උගත්තේයයි නිෂ්ටාවට යා යුත්තාහ. මහණෙනි, මේ පළමුවෙනි මහා ප්රදේශය ධාරණය කරව්.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ කෙණෙක් අසවල් ආවාසයෙහි තෙරුන් සහිත, ප්රමුඛයන් සහිත, සංඝයා වසයි. මා විසින් ඒ සංඝයාගේ සම්මුඛයෙන් අසන ලදී. සම්මුඛයෙන් පිළිගන්නා ලදී. මේ ධර්මයය, මේ විනයය, මේ ශාස්තෲ ශාසනයයි’ කියන්නේය.