(18) 3. සඤ්චෙතනිය වර්ගය
4. 4. 3. 1.
1. සඤ්චෙතනා හේතුක සූත්‍රය
[සැවැත් නුවරදී ය]
21. “මහණෙනි, කය හෝ ශරීරයේ සිතුවිලි හේතුවූ කල්හි අධ්‍යාත්මයෙහි සැප දුක උපදී. මහණෙනි, වචනයාගේ හෝ වාග් සඤ්චෙතනාවගේ හේතුවෙන් අධ්‍යාත්මයෙහි සැප දුක් උපදී. මහණෙනි, සිත් හා මනො සංචෙතනා හේතුවෙන් හෝ අවිද්‍යා හේතුවෙන් හෝ අධ්‍යාත්මයෙහි සැප දුක් උපදී.
“යමක් ප්‍රත්‍යය වීමෙන් අධ්‍යාත්මයෙහි සැප දුක් උපදීද, ඒ කාය සංස්කාරය තමා හෝ සකස් කරයි. යමක් ප්‍රත්‍යය වීමෙන් අධ්‍යාත්මයෙහි සුව දුක් උපදීද, ඒ කාය සංස්කාරය අනුන් හෝ රැස් කරයි. යමක් ප්‍රත්‍යය වීමෙන් අධ්‍යාත්මයෙහි සුව දුක් පහළවේද, සම්‍යක් ප්‍රඥාවෙන් හෝ ඒ කාය සංස්කාරය රැස්කරයි. යමක් ප්‍රත්‍යය වීමෙන් අධ්‍යාත්මයෙහි සැප දුක් පහළවේද, නොසිහියෙන් හෝ ඒ කාය සංස්කාරය රැස් කරයි.
“යමක් ප්‍රත්‍යය වීමෙන් අධ්‍යාත්මයෙහි ඒ සුව දුක් පහළවේද, තෙමේ හෝ ඒ වාග් සංස්කාරය රැස්කරයි. යමක් ප්‍රත්‍යය වීමෙන් අධ්‍යාත්මයෙහි ඒ සුව දුක් පහළවේද, මහණෙනි, අනුන් හෝ ඒ වාග් සංස්කාරය රැස්කරයි. යමක් ප්‍රත්‍යය වීමෙන් අධ්‍යාත්මයෙහි ඒ සුව දුක් පහළවේද, සම්‍යක් ප්‍රඥාවෙන් හෝ ඒ වාග් සංස්කාරය රැස්කරයි. යමක් ප්‍රත්‍යය වීමෙන් අධ්‍යාත්මයෙහි ඒ සුව දුක් පහළවේද, නොසිහියෙන් හෝ මහණෙනි, ඒ වාග් සංස්කාරය රැස්කරයි.
“යමක් ප්‍රත්‍යය වීමෙන් අධ්‍යාත්මයෙහි ඒ සුව දුක් පහළවේද, තෙමේ හෝ මහණෙනි, ඒ මනො සංස්කාරය රැස්කරයි. යමක් ප්‍රත්‍යය වීමෙන් අධ්‍යාත්මයෙහි ඒ මනො සංස්කාරය පහළවේද, අනුන් හෝ මහණෙනි, ඒ මනො සංස්කාරය රැස්කරයි. යමක් ප්‍රත්‍යය වීමෙන් ඒ මනො සංස්කාරය පහළවේද, සම්‍යක් ප්‍රඥාවෙන් හෝ ඒ මනො සංස්කාරය රැස්කරයි. යමක් ප්‍රත්‍යය වීමෙන් ඒ මනො සංස්කාරය පහළවේද, නොසිහියෙන් හෝ, මහණෙනි, ඒ මනො සංස්කාරය රැස්කරයි.
“යමක් ප්‍රත්‍යය වීමෙන් අධ්‍යාත්මයෙහි ඒ සුව දුක් පහළවේද, මේ ධර්මයන්හි අවිද්‍යාව පතිතවූවාය. අවිද්‍යාවගේම ඉතුරු නොකොට නිරුද්ධවීමෙන්, යමක් හේතුකොටගෙන අධ්‍යාත්මයෙහි සුව දුක් උපදීද, ඒ ශරීරය නොවේ. යමක් ප්‍රත්‍යය වීමෙන් අධ්‍යාත්මයෙහි සුව දුක් උපදීද, ඒ වචනයෝ නොවෙත්. යමක් ප්‍රත්‍යයවීමෙන් අධ්‍යාත්මයෙහි සුව දුක් උපදීද, ඒ සිත නොවේ.
යමක් හේතු කොට ගෙන අධ්‍යාත්මයෙහි සුව දුක් උපදීද, ඒ ක්ෂෙත්රය නොවේ. ඒ වස්තුව නොවේ. ඒ ආයතනය නොවේ. ඒ ආධාරය නොවේ.”
“මහණෙනි, මේ ආත්මභාවයන්ගේ ලැබීම් සතරෙකි. කවර සතරක්ද යත්.
මහණෙනි, යම් ආත්මභාවයෙක්හි තමා ගැන සිතීම කෙරයිද, අනුන් ගැන සිතීම නොකරයිද, එබඳු ආත්මභාවයක ලැබීමක් ඇත. මහණෙනි, යම් ආත්මභාවයක අනුන් ගැන සිතයිද, තමා ගැන නොසිතයිද, එබඳු ආත්මභාව ප්‍රතිලාභයක් ඇත. මහණෙනි, යම් ආත්මභාවයෙක්හි තමා ගැන සිතීමද, අනුන් ගැන සිතීමද කරයි. එබඳු ආත්මභාව ප්‍රතිලාභයක් ඇත. මහණෙනි, යම් ආත්මභාවයෙක්හි තමා ගැනද නොසිතයි. අනුන් ගැනද නොසිතයි. එබඳු ආත්මභාවයක් ඇත. මහණෙනි, මේ සතර ආත්මභාවයෝයි.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් වදාරණ ලද මොහුගේ වනාහි විස්තර වශයෙන් අර්ත්ථය දනිමි” යි කීයේය.
“ස්වාමීනි, එහි යම් මේ ආත්මභාව ප්‍රතිලාභයෙක්හි තමා ගැන සිතයිද, අනුන් ගැන නොසිතයිද, තමා ගැන සිතීම හේතුවෙන් ඒ සත්ත්වයන් ඒ ශරීරයෙන් චුතවෙයි.
ස්වාමීනි, එහි යම් මේ ආත්මභාව ප්‍රතිලාභයක් වේද, යම් ආත්මභාව ප්‍රතිලාභයෙක්හි අනුන් ගැන සිතයිද, තමා ගැන නොසිතයිද, අනුන් ගැන සිතීම හේතුවෙන් ඒ සත්ත්වයන් ඒ ශරීරයෙන් චුතවේ.
“ස්වාමීනි, එහි යම් මේ ආත්මභාව ප්‍රතිලාභයෙක්හි, තමා ගැනද සිතයිද, අනුන් ගැනද සිතයිද, තමා ගැනද, අනුන් ගැනද සිතීම් හේතුවෙන් ඒ සත්ත්වයන් ඒ ශරීරයෙන් චුතවේ.
ස්වාමීනි, එහි යම් මේ ආත්මභාව ප්‍රතිලාභයක් වේද, යම් ආත්මභාව ප්‍රතිලාභයෙක්හි තමා ගැනද නොසිතයිද, අනුන් ගැනද නොසිතයිද, එයින් කවර දෙවි කෙනෙක් දතයුත්තාහුද?” “ශාරීපුත්‍රය, ඉන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණි දෙවියෝ දත යුත්තාහ.”
“ස්වාමීනි, යම් කරුණකින් මේ ලෝකයෙහි ඇතැම් සත්ත්වයෝ ඒ ශරීරයෙන් චුතව, මේ ආත්මභාවයට එන සුළු ආගාමී පුද්ගලයෝ වෙත්ද, ඊට හේතු කවරේද, ඊට ප්‍රත්‍යය කවරේද? “ස්වාමීනි, යම් කරුණකින් මේ ලෝකයෙහි ඇතැම් සත්ත්වයෝ ඒ ශරීරයෙන් චුතවූවාහු, මේ ආත්මභාවයට නොඑන සුළු (අනාගාමී) පුද්ගලයෝ වෙත්ද, ඊට හේතු කවරේද, ඊට ප්‍රත්‍යය කවරේද?
“ශාරීපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකුට කාමධාතුව භජනය කරණ (බැමි) සංයෝජන ප්‍රහීන නොවූවාහු වෙත්ද, හෙතෙම මේ ආත්මභාවයෙහිම නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. හෙතෙම එය ආස්වාදය කරයි. එය කැමති වෙයි. ඉන් තෘප්තියට පැමිණෙයි. එහි සිටියේ, ඊට බැසගත්තේ, එය බහුල වශයෙන් කරන්නේ, නොපිරිහුනේ, කළුරිය කරන්නේ, නෙවසඤ්ඤානාසඤ්ඤායතනට අයත් දෙවියන් හා සහභාගී බවට උපදියි. හෙතෙම ඉන් චුතවූයේ, මේ ආත්මයට එන සුළු (ආගාමී) පුද්ගලයෙක් වේ.