4. 4. 2. 5.
5. අක්ඛම සූත්‍රය
165. “මහණෙනි, මේ ප්‍රතිපදා සතරක් වෙත්. කවර සතරක්ද යත්?
නොඉවසන ප්‍රතිපදාවය, ඉවසන ප්‍රතිපදාවය, සන්සිඳුනු ප්‍රතිපදාවය, සම ප්‍රතිපදාවය යන සතරය.
“මහණෙනි, නොඉවසීමේ ප්‍රතිපදාව කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් සීත, උෂ්ණ, බඩසාය, පිපාසය, ඩැහැලේ බොන මැස්සෝය, මදුරුවෝය, වාතයය, අව්වය, දීර්‍ඝ ජාතීන්ගේ ස්පර්‍ශය නොඉවසන්නේ වේද, නපුරුකොට කියන ලද, නපුරු වශයෙන් ආ, වචනයෙන් උපන්, දුක්වූ, තියුණුවූ, ක්‍රූරවූ, කටුකවූ, අයහපත්වූ, නොමනාපවූ, ප්‍රාණය පැහැරගන්නාවූ, උපන් ශාරීරික වේදනාවන් “නොඉවසන ස්වභාව ඇත්තේ වේ. මහණෙනි, මේ අක්‍ෂමා ප්‍රතිපදායයි කියනු ලැබේ.
“මහණෙනි, ඉවසන ප්‍රතිපදාව කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් සීත, උෂ්ණ, බඩසාය, පිපාසය, ඩැහැලේ බොන මැස්සෝය, මදුරුවෝය, වාතයය, අව්වය, දීර්‍ඝ ජාතීන්ගේ ස්පර්‍ශය ඉවසන්නේ වේද, නපුරුකොට කියන ලද, නපුරු වශයෙන් ආ, වචනයෙන් උපන්, දුක්වූ, තියුණුවූ, ක්‍රූරවූ, කටුකවූ, අයහපත්වූ, නොමනාපවූ, ප්‍රාණය පැහැරගන්නාවූ, උපන් ශාරීරික වේදනාවන් ඉවසන ස්වභාව වූයේ වේද, මහණෙනි, මේ ක්‍ෂමා (ඉවසන) ප්‍රතිපදායයි කියනු ලැබේ.
“මහණෙනි, සන්සිඳුනු ප්‍රතිපදාව කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි මහණ තෙම ඇසින් රූපයක් දැක නිමිති නොගන්නේද, ලක්‍ෂණ නොගන්නේද, යම් කාරණයකින් චක්‍ෂුරින්‍ද්‍රියය අසංවරව වාසය කරන්නාට ලෝභය, ද්වේෂය යන ලාමක අකශල ධර්‍මයෝ ලුහුබඳනාහුද, එය සංවරවීම පිණිස පිළිපදියි. චක්‍ෂුරින්‍ද්‍රියය රකියි. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. කණින් ශබ්දයක් අසා නිමිති නොගන්නේද, ලක්‍ෂණ නොගන්නේද, යම් කාරණයකින් සෝතේන්‍ද්‍රියය අසංවරව වාසය කරන්නාට ලෝභය, ද්වේෂය යන ලාමක අකුශල ධර්‍මයෝ ලුහුබඳනාහුද, එය සංවරවීම පිණිස පිළිපදියි. සෝතේන්‍ද්‍රියය රකියි. සෝතේන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. නාසයෙන් ගඳ සුවඳත් ආඝ්‍රාණය කොට නිමිති නොගන්නේද, ලක්‍ෂණ නොගන්නේද, යම් කාරණයකින් ඝානේන්‍ද්‍රියය අසංවරව වාසය කරන්නාට ලෝභය, ද්වේෂය යන ලාමක අකුශල ධර්‍මයෝ ලුහුබඳනාහුද, එය සංවරවීම පිණිස පිළිපදියි. ඝානේන්‍ද්‍රියය රකියි. ඝානේන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. දිවෙන් රසයක් විඳ, නිමිති නොගන්නේද, ලක්‍ෂණ නොගන්නේද, යම් කාරණයකින් ජිහ්වේන්‍ද්‍රියය අසංවරව වාසය කරන්නාට ලෝභය, ද්වේෂය යන ලාමක අකුශල ධර්‍මයෝ ලුහුබඳනාහුද, එය සංවරවීම පිණිස පිළිපදියි. ජිහ්වේන්‍ද්‍රියය රකියි. ජිහ්වේන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. කයින් පහසක් දැනී, නිමිති නොගන්නේද, ලක්‍ෂණ නොගන්නේද, වේ. යම් කාරණයකින් කායේන්‍ද්‍රියය අසංවරව වාසය කරන්නාට ලෝභය, ෙව්ෂය යන ලාමක අකුශල ධර්‍මයෝ ලුහුබඳනාහුද, එය සංවරවීම පිණිස පිළිපදියි. කායේන්‍ද්‍රියය රකියි. කායේන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. සිතින් ධර්‍මයක් දැන නිමිති නොගන්නේ වේ, අනුබ්‍යඤ්ජන නොගන්නේ වේ, යම් කාරණයකින් මනින්‍ද්‍රියයෙහි අසංවරව වාසය කරන්නාට ලෝභය, ෙව්ෂය යන ලාමක අකුශල ධර්මයෝ ලුහුබඳනාහුද, එය සංවරය පිණිස පිළිපදියි. මනින්‍ද්‍රියය රකියි. මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. මහණෙනි, මේ සන්සිඳුනු ප්‍රතිපදාවයයි කියනු ලැබේ.
“මහණෙනි, සම ප්‍රතිපදාව කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම උපන් කාම අදහස නොඉවසයි. අත්හරියි. දුරුකරයි. සමනය කරයි. කෙළවර කරයි. අභාවයට යවයි. උපන් ව්‍යාපාද විතර්‍කය, නොඉවසයි. අත්හරියි. දුරුකරයි. සමනය කරයි. කෙළවර කරයි. අභාවයට යවයි. උපන් විහිංසා විර්‍කය නොඉවසයි. අත්හරියි. දුරුකරයි. සමනය කරයි. කෙළවර කරයි. අභාවයට යවයි. උපනූපන් ලාමක අකුශල ධර්මයන් නොඉවසයි. දුරුකරයි. අත්හරියි. සමනය කරයි. අවසන් කරයි. අභාවයට යවයි. මහණෙනි, මේ සම ප්‍රතිපදාවයයි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර ප්‍රතිපදාවෝයි.”
4. 4. 2. 6.
6. උභය හීන සූත්‍රය
166. “මහණෙනි, මේ ප්‍රතිපදා සතරක් වෙත්. කවර සතරක්ද යත්.
දුක්වූ ප්‍රතිපදාවය, ප්‍රමාදවූ අභිඥාවය, දුක්වූ ප්‍රතිපදාවය, වහාලැබෙන අභිඥාය, සැපවූ ප්‍රතිපදාවය, ප්‍රමාදවූ අභිඥාය, සැපවූ ප්‍රතිපදාවය, වහා ලැබෙන අභිඥාය යන සතරය.
“මහණෙනි, එහි යම් ප්‍රතිපදාවක් දුක්ද, ප්‍රමාදව ලැබෙන අභිඥා ඇත්තේද, මහණෙනි, මේ ප්‍රතිපදාව දෙකින්ම ලාමකයයි කියනු ලැබේ. යම් මේ ප්‍රතිපදාවක් දුක්ද වෙයි. මෙය හීන යයි වැටහේ. යම් මේ ප්‍රතිපදාවක් දුක්ද වෙයි. මෙය හීන යයි වැටහේ. යම් මේ ප්‍රතිපදාවක් ප්‍රමාදද වෙයි. මෙය හීන යයි හැඟේ. මහණෙනි, මේ ප්‍රතිපදාව දෙකින්ම හීනයයි කියනු ලැබේ.
මහණෙනි, එහි යම් මේ ප්‍රතිපදාවක් වහා ලැබෙන අභිඥාද, දුක්ද, මහණෙනි, මේ ප්‍රතිපදාව දුක් බැවින් හීන යයි කියනු ලැබේ.
මහණෙනි, එහි යම් මේ ප්‍රතිපදාවක් සැපද, ප්‍රමාදව ලැබෙන අභිඥාද, මහණෙනි, මේ ප්‍රතිපදාව ප්‍රමාද බැවින් හීනයයි කියනු ලැබේ.
මහණෙනි, එහි යම් මේ ප්‍රතිපදාවක් සැපද, වහා ලැබෙන අභිඥාද, මහණෙනි, මේ ප්‍රතිපදාව දෙකින්ම ප්‍රණීතයයි හැඟේ. “යම් මේ ප්‍රතිපදාවක් සැපද වෙයි. මෙය ප්‍රණීතයයි කියනු ලැබේ. යම් මේ ප්‍රතිපදාවක් තියුණුද වෙයි. මෙය ප්‍රණීතයයි කියනු ලැබේ. මහණෙනි, මේ ප්‍රතිපදාව දෙකින්ම ප්‍රණීතයයි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර ප්‍රතිපදාවෝයි.”
4. 4. 2. 7.
7. මොග්ගල්ලාන සූත්‍රය
167. “ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණිසේක. පැමිණ ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ සමග සතුටුවියයුතු, සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන් සේක. “එකත් පසෙක හුන් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට,
“ඇවැත් මොග්ගල්ලානය, මේ ප්‍රතිපදා සතරකි. කවර සතරක්ද යත්.
දුක්වු ප්‍රතිපදාය, ප්‍රමාදවූ අභිඥාය. දුක්වු ප්‍රතිපදාය, වහා ලැබෙන අභිඥාය. සැපවුූ ප්‍රතිපදාය, ප්‍රමාදවූ අභිඥාය. සැපවූ ප්‍රතිපදාය, වහා ලැබෙන අභිඥාය, ඇවැත්නි, මේ සතර ප්‍රතිපදාවෝයි.
“ඇවැත්නි, මේ සතර ප්‍රතිපදාවන්ගෙන් තොප කවර ප්‍රතිපදාවකට පැමිණ, තෘෂ්ණා, මාන, දෘෂ්ටි වශයෙන් නොගෙන සිත කෙලෙසුන්ගෙන් මිදුනේද?
“ඇවැත් ශාරීපුත්‍රය, මේ ප්‍රතිපදා සතරකි. කවර සතරක්ද යත්.
දුක්වු ප්‍රතිපදාය, ප්‍රමාදවූ අභිඥාය. දුක්වු ප්‍රතිපදාය, වහා ලැබෙන අභිඥාය. සැප වූ ප්‍රතිපදාය, ප්‍රමාදවූ අභිඥාය. සැපවූ ප්‍රතිපදාය, වහා ලැබෙන අභිඥාය, ඇවැත්නි, මේ සතර ප්‍රතිපදාවෝයි.
“ඇවැත්නි, මේ සතර ප්‍රතිපදාවන්ගෙන් යම් මේ ප්‍රතිපදාවක් සැපද, වහා ලැබෙන අභිඥා ඇත්තේද, මා විසින් මේ ප්‍රතිපදාවට පැමිණ, තෘෂ්ණාදී වශයෙන් නොගෙන, ආශ්‍රවයන්ගෙන් සිත මුදන ලදී.”