4. 4. 2. 6.
6. උභය හීන සූත්රය
166. “මහණෙනි, මේ ප්රතිපදා සතරක් වෙත්. කවර සතරක්ද යත්.
දුක්වූ ප්රතිපදාවය, ප්රමාදවූ අභිඥාවය, දුක්වූ ප්රතිපදාවය, වහාලැබෙන අභිඥාය, සැපවූ ප්රතිපදාවය, ප්රමාදවූ අභිඥාය, සැපවූ ප්රතිපදාවය, වහා ලැබෙන අභිඥාය යන සතරය.
“මහණෙනි, එහි යම් ප්රතිපදාවක් දුක්ද, ප්රමාදව ලැබෙන අභිඥා ඇත්තේද, මහණෙනි, මේ ප්රතිපදාව දෙකින්ම ලාමකයයි කියනු ලැබේ. යම් මේ ප්රතිපදාවක් දුක්ද වෙයි. මෙය හීන යයි වැටහේ. යම් මේ ප්රතිපදාවක් දුක්ද වෙයි. මෙය හීන යයි වැටහේ. යම් මේ ප්රතිපදාවක් ප්රමාදද වෙයි. මෙය හීන යයි හැඟේ. මහණෙනි, මේ ප්රතිපදාව දෙකින්ම හීනයයි කියනු ලැබේ.
මහණෙනි, එහි යම් මේ ප්රතිපදාවක් වහා ලැබෙන අභිඥාද, දුක්ද, මහණෙනි, මේ ප්රතිපදාව දුක් බැවින් හීන යයි කියනු ලැබේ.
මහණෙනි, එහි යම් මේ ප්රතිපදාවක් සැපද, ප්රමාදව ලැබෙන අභිඥාද, මහණෙනි, මේ ප්රතිපදාව ප්රමාද බැවින් හීනයයි කියනු ලැබේ.
මහණෙනි, එහි යම් මේ ප්රතිපදාවක් සැපද, වහා ලැබෙන අභිඥාද, මහණෙනි, මේ ප්රතිපදාව දෙකින්ම ප්රණීතයයි හැඟේ. “යම් මේ ප්රතිපදාවක් සැපද වෙයි. මෙය ප්රණීතයයි කියනු ලැබේ. යම් මේ ප්රතිපදාවක් තියුණුද වෙයි. මෙය ප්රණීතයයි කියනු ලැබේ. මහණෙනි, මේ ප්රතිපදාව දෙකින්ම ප්රණීතයයි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර ප්රතිපදාවෝයි.”
4. 4. 2. 7.
7. මොග්ගල්ලාන සූත්රය
167. “ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ, මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණිසේක. පැමිණ ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ සමග සතුටුවියයුතු, සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන් සේක. “එකත් පසෙක හුන් ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට,
“ඇවැත් මොග්ගල්ලානය, මේ ප්රතිපදා සතරකි. කවර සතරක්ද යත්.
දුක්වු ප්රතිපදාය, ප්රමාදවූ අභිඥාය. දුක්වු ප්රතිපදාය, වහා ලැබෙන අභිඥාය. සැපවුූ ප්රතිපදාය, ප්රමාදවූ අභිඥාය. සැපවූ ප්රතිපදාය, වහා ලැබෙන අභිඥාය, ඇවැත්නි, මේ සතර ප්රතිපදාවෝයි.
“ඇවැත්නි, මේ සතර ප්රතිපදාවන්ගෙන් තොප කවර ප්රතිපදාවකට පැමිණ, තෘෂ්ණා, මාන, දෘෂ්ටි වශයෙන් නොගෙන සිත කෙලෙසුන්ගෙන් මිදුනේද?
“ඇවැත් ශාරීපුත්රය, මේ ප්රතිපදා සතරකි. කවර සතරක්ද යත්.
දුක්වු ප්රතිපදාය, ප්රමාදවූ අභිඥාය. දුක්වු ප්රතිපදාය, වහා ලැබෙන අභිඥාය. සැප වූ ප්රතිපදාය, ප්රමාදවූ අභිඥාය. සැපවූ ප්රතිපදාය, වහා ලැබෙන අභිඥාය, ඇවැත්නි, මේ සතර ප්රතිපදාවෝයි.
“ඇවැත්නි, මේ සතර ප්රතිපදාවන්ගෙන් යම් මේ ප්රතිපදාවක් සැපද, වහා ලැබෙන අභිඥා ඇත්තේද, මා විසින් මේ ප්රතිපදාවට පැමිණ, තෘෂ්ණාදී වශයෙන් නොගෙන, ආශ්රවයන්ගෙන් සිත මුදන ලදී.”